අප රටට වැදගත් වන රටට යෝග්‍ය, උචිත ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දින ආරම්භ කළ බවත් මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නේ අප රට බලශක්ති ක්ෂේත්‍රයෙන් සෝචනීය ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බැවින් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහනේ ආරම්භය සමග එක්වෙමිනි.
ඊයේත් නිෂ්පාදනය කර තිබෙන්නේ මෙගාවොට් 179ක් අඩුවෙන්
''ඇත්ත පෙනි පෙනී තිබිය දී ඒවා ප්‍රතික්ෂේප කරමින් සත්‍ය දත්ත බැහැර කරමින් අද වන විට වත්මන් රජය බලශක්ති සුරක්ෂිතභාවය නොව බලශක්ති අනාරක්ෂිතභාවයක් නිර්මාණය කරමින් පවතිනවා. බාල ගල් අඟුරු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරය උත්පාදනය කළ යුතු මෙගාවොට් ප්‍රමාණය උත්පාදනය නොකරමින් බලශක්ති ක්ෂේත්‍රයේ බරපතළ අවදානම් තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ නිසා විදුලි කප්පාදුවක් සිදුවේ යැයි අනතුරු අගවමින් රජය දැනුවත් කළත් රජය ඒවා ප්‍රතික්ෂේප කළා. මාර්තු 12 වැනිදා මෙගාවොට් 51ක්, 13 වැනිදා මෙගාවොට් 130ක්, 14 වැනිදා මෙගාවොට් 135ක්, 15 වැනිදා මෙගාවොට් 132ක්, 16 වැනිදා මෙගාවොට් 148, 17 වැනිදා මෙගාවොට් 165ක් සහ 18 වැනිදා මෙගාවොට් 176ක්, 19 වැනිදා මෙගාවොට් 165ක් අඩුවෙනුයි විදුලිය නිෂ්පාදනය කර තිබෙන්නේ. ඊයේ දිනයේ ද නිෂ්පාදනය කර තිබෙන්නේ මෙගාවොට් 179ක් අඩුවෙන්. මේ තුළින් බලශක්ති අනාරක්ෂිතභාවය නිර්මාණය වීමත් පාරිසරික හානි සෞඛ්‍ය හානි මෙන්ම විදුලි කප්පාදුවක් පවා සිදුවිය හැකි යි.
අපේ යෝජනාව ඩොලර් කුට්ටිවලට යටවී නැහැ
මේ බාල ගල් අඟුරු නිසා අළු කඳු තවදුරටත් නිර්මාණය වීමේ තත්ත්වයක් ඇති මොහොතක ප්‍රගතිශීලී විපක්ෂය ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය විසින් රට වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ජාතික විදුලි බල බලශක්ති ප්‍රතිපත්තිය නිර්මාණය කර රටට හා ජනතාවට ඉදිරිපත් කරනවා. එක් එක් තනි පාර්ශ්වකරුවන්ගේ ඔ්නෑ එපාකම්වලට හෝ ඩොලර් කුට්ටිවලට මේවා යටවී නැහැ. මේ බලශක්ති ප්‍රතිපත්තියට ධන බලය, දේශපාලන බලය, මුදල් බලය තිබුණත් කාටවත් මේ සඳහා බලපෑම් කළ නොහැකි යි. එසේම මෙහි අරමුණ වන්නේ අඛණ්ඩ විදුලි ලබා ගැනීමේ වැඩපිළිවෙළ: කාර්යක්ෂමව, අඩුවියදමින්, අඩු පිරිවැයින්, සහ ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක කිරීම යි. මේ තුළින් පරිසර හානිය අවම කරන ජන ජීවිත සුරක්ෂිත කරන බලශක්ති ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවා. මීට පෙර සිටි විරුද්ධ පක්ෂ ක්‍රියා කළේ බලය නොමැති අවස්ථාවේ පුනර් ජනනීය බලශක්තිය ගැන කතා කර බලය ලැබූ පසු පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන, ඩොලර් නිසා ඉන්ධන බලාගාර හිමියන්ගේ වහලුන් ලෙස කටයුතු කිරීම යි. ඔවුන් එසේ කටයුතු කළත් සමගි ජන බලවේගය කවදාවත් එවැනි දේට යට වෙන්නෙ නැහැ.
බාල ගල් අඟුරු ගෙන්වීම අන්ත දූෂිත හා වංචාකාරී ක්‍රියාවක්
තව ද නොරොච්චෝල බලාගාරයේ තත්‍යකාලීන දත්ත රජයට පිළිගත නොහැක්කේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. මේ නිසා සිදු වන්නේ අප රටේ ජාතික සම්පත්වලට විශාල විනාශයක් සිදු කිරීම යි. මේ බාල ගල් අඟුරු ගෙන්වීම අන්ත දූෂිත හා වංචාකාරී ක්‍රියාවක්. මේ ක්‍රියාවට සම්බන්ධ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පවා ගෙන ආ නිසා දැන්වත් මෙ වැරදි ක්‍රියාවෙන් ඉවත් විය යුතු යි.''

