වහාම පරාටේ නීතිය අහෝසි කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වහාම පරාටේ නීතිය අහෝසි කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශීඝ්‍ර ලෙස ඉන්ධන මිල වැඩි වීම නිසා අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් බලවත් අසීරුතාවකට මුහුණ දෙමින් සිටින බැවින් පරාටේ නීතිය වහා අහෝසි කරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියි.

 ඔහු මෙම ඉල්ලීම කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 කඩාවැටුණු ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු කරන්න

''ඉන්ධන මිල වැඩි වීම නිෂ්පාදන චක්‍රයට සහ ඉල්ලුම් හා සැපයුම් දාමයට බරපතල සෘණාත්මක අගතිගාමී බලපෑමක් එල්ල කරමින් පවතිනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයකට රැකී රක්ෂා හා ජීවනෝපාය සපයනවා. මේ ක්ෂේත්‍රය කඩා වැටුණහොත් අප රටේ ආර්ථික වර්ධනය බිඳ වැටී, ගෘහයේ ආර්ථිකය කඩා වැටී, රටේ නිෂ්පාදන ධාරිතාව දුබල වනවා. මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මේ වෙනුවෙන් මැදිහත් වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට සහයෝගය හා ශක්තිය ලබා දිය යුතු යි. රජය විසින් ට්‍රිලියන ගණන් මුදල් එකතු කර මහා භාණ්ඩාගාරය පුරවා ඇතැයි පවසන නිසා 2019 වසරේ සිට මේ දක්වා ඛේදවාචකයන් 5ක් තුළ බිඳ වැටුණු, කඩා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නැවත ඔසවා තැබිය යුතු යි. අප රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට නිසි සැලකිල්ල තවමත් ලැබී නැති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළ යුතු යි. ඊට අමතරව මේ කඩාවැටුණු ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමුවිය යුතු යි.

මේ ව්‍යාපාරිකයන් බදු දැලෙන් ආරක්ෂා කර ගන්න

ඊට අමතරව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ආර්ථික පැකේජයක් රජය ක්‍රියාත්මක කළ යුතු යි. අමුද්‍රව්‍ය සපයන අය තමන්ගේ මිල වැඩිවීම මේ කර්මාන්තකරුවන්ට යොමු කර තිබෙනවා. කර්මාන්තකරුවන් ගේ මිල වැඩි වීම පාරිභෝගිකයන්ට යොමු කළ හොත් තරගකාරීත්වය නැති වෙන නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ඉන්නෙ දැඩි පීඩනයකින්. මේ ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට සහන ලබා දෙන්න කටයුතු කළ යුතු යි. එස්. වැට් ක්‍රමය තුළ අපනයනකරුවන්ට ලැබුණු ශක්තිය අද අහිමි වී ගොස් තිබෙනවා. සීමාසහිත දින ප්‍රමාණයක් තුළ මේ සහන දෙනවා කිව්වත් දින 90ක් ගියත් ප්‍රතිපූර්ණය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. රජය බදු දැල පුළුල් කිරීම නිසා ව්‍යාපාරිකයන්ට යොමු කරන බදු දැලේ අඩුවක් කළ යුතු යි. බදු වැඩි වුණ පසු ව්‍යාපාර කඩාවැටෙනවා. මේ පවතින තත්ත්වය තුළ අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටීමට නියමිත යි. ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පවා බරපතල ගැටලු මතුවී අප රටේ කර්මාන්තකරුවන් වෙනත් රටවලට යාවි. ආයෝජන ප්‍රාග්ධනය වෙනත් රටවලට යන තත්ත්වයක් මතුව තිබෙන නිසා මේ පීඩනයෙන් ඔවුන් මුදවා ගැනීම රජයේ වගකීමක්. මොවුන්ගේ ගැටලුවලට සවන් දීමට අවස්ථාවක් ලබා දෙන්න.'' 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න