සේනානායකීය ආදි ශිෂ්‍ය හදවත් එකමුතුවෙන් මල්පල ගැන්වෙන ගුරු සිසු නොනිමි සබැඳියාව

සේනානායකීය ආදි ශිෂ්‍ය හදවත් එකමුතුවෙන් මල්පල ගැන්වෙන ගුරු සිසු නොනිමි සබැඳියාව

ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 88 කණ්ඩායම් විසින් විශ්‍රාමික ගුරු දෙමවුපියන්ගේ සෞඛ්‍ය සරක්ෂිතාවය උදෙසා මාසිකව පවත්වාගෙන යනු ලබන වෛද්‍ය සායනයට වසර 20ක් සපිරේ.

විසි වසරක අභිමානවත් ඉතිහාසය

1967 පෙබරවාරි මස 10 වන දින අයි. එම්. ආර්. ඒ. රීරිය ගොල්ල මැතිඳුන් සහ ආර්.අයි. ටී. අලස් ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් ඇරඹි කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ඉතා කෙටි කාලයක් තුළ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්දිස්ථානයක් සලකුණු කිරීමට සමත් විය. ආරම්භයේ සිට ම බහු ජාතික පාසලක් වශයෙන් ඇරඹි සේනානායකය එයට ම අනන්‍ය වූ උප සංස්කෘතියක් හිමි කරගැනීමට සමත් විය. විද්‍යාලයීය ආරම්භක නියමුවාණන් වන අලස් ගුරු පියාණන් අර්ථ දැක්වූ පරිදි සේනානායක විදුහල් මාතාව ඔසවා සිටින ඒ සිවු මහා ස්තම්භ අතුරින් විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් ම ආදි ගුරු මණ්ඩලයේ අපගේ ඒ ආදරණීය ගුරු මෑණිවරුන් මෙන්ම ගුරු පියවරුන් ගේ සුවතාව උදෙසා ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනය සිසුන් සහ ගුරුවරයා අතර පවතින ඒ නොනිමි සබඳතාව මනාව පිළිබිඹු කරයි. විසි වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මේ උතුම් කර්තව්‍ය 2006 වසරේ පෙබරවාරි මස 18 වන දින ඩී. ඇස්. මාතාවගේ 88 කණ්ඩායමේ අපේම ආදරණීය ආදි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණි.

සෙන්පති පුතුන් ගේ කෘතවේදී ගුණය

ආරම්භයේදී සුළු කර්තව්‍යයක් වශයෙන් ඇරඹී මෙම ව්‍යාපෘතිය වර්තමානය වන විට සුවිශාල වූ කාර්‍යයක් බවට පත්වී තිබේ. මුල් කාලයේ දී ඖෂධ ආදිය සපයා ගැනීමට මූල්‍යමය සම්පාදන සොයාගැනීම තරමක් අසීරු වුව ද සෙන්පති පුතුන් ගේ පවතින ඒ ශක්තිමත් බැඳීම, එකමුතුව ඒ සියලු බාධක බිද දැමීමට සමත් විය. අප විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ පසුකාලීනව වෛද්‍ය වෘත්තියට පිවිසි ආදි ශිෂ්‍යයින් ගණනාවක් මේ සඳහා දායකත්වය ලබාදීමට පසුබට නොවුණි. අදියරෙන් අදියර ගොඩනැගුණු මේ වෛද්‍ය සායන ක්‍රියාවලිය මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් ම සායනයට සහභාගි විය නොහැකි තරමින් අසාධ්‍ය ගුරු මාපියවරුන්ට නිවසටම ඖෂධ ගෙනැවිත් දීමට තරම් අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කණ්ඩායම මානුෂිය විය. පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගතය තිබෙද්දී ගුරුවරුන්ට නිවසට ම ගෙනවිත් දෙන්නට කටයුතු සිදු කෙරිණි. තම දිවියේ සැදෑ සමය ගත කරන ඒ ආදරණීය ගුරුවරුන්ට වෛද්‍ය තුෂාර ගුණතිලකයන් ඇතුළු 38 කණ්ඩායම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සෙන්පති පුතුන් ගේ කෘතවේදී ගුණය මොනවට කියා පායි.

නිරොශන් කොළඹ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න