අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව සම්බන්ධ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය

අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව සම්බන්ධ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය

දැඩිසත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වය පත්ව (acute kidney injury -AKI) ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙන අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy - CRRT ) සම්බන්ධව මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය සහ සිංගප්පූරු‌වේ සිංහෙල්ත් (SingHealth) යටතේ පවතින සිංගප්පූරු මහ රෝහල (Singapore General Hospital) සමග එක්ව නව සහයෝගීතාවකින් මෙම පුහුණු වැඩසටහන පවත්වන අතර, මෙම පුහුණු වැඩසටහන දීර්ඝ කාලීනව පැවැත්වීමට සංගප්පූරු වෛද්‍ය කණ්ඩායම කටයුතු කරයි.‍

වැඩමුළුවේ අරමුණ

ශ්‍රී ලංකාව පුරා දැඩි සත්කාර ඒකකවල සේවය කරන ඉදිරි පෙළ විශේෂඥයින් බලගැන්වීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ඉලක්කය වන අතර, විශේෂඥ දේශන, විද්වත් සාකච්ඡා සහ ප්‍රායෝගික CRRT පුහුණුව ඒකාබද්ධ කිරීමෙන්, බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන් කළමනාකරණය කරන වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර ඒකක කණ්ඩායම්වල සායනික දැනුම ශක්තිමත් කිරීම මෙම පුහුණු වැඩමුළුවේ අරමුණයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම විශේෂ අවස්ථාව පිළිබඳව සිය අදහස් යොමු කර තිබූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. ශ්‍රීධර්න් එම අදහස් සභාවට ඉදිරිපත් කර තිබිණ.

ජාතික ප්‍රමුඛතාව

ලොව පුරා, සෞඛ්‍ය සේවා පද්ධති තුළ දැඩිසත්කාර ප්‍රතිකාර සේවා රෝගීන් කළමනාකරණය කිරීමේ දී අභියෝගවලට මුහුණ දෙන බවත්, ශ්‍රී ලංකාවේ ද දැඩි සත්කාර ඒකක තුළ සංකීර්ණ වෛද්‍ය තත්ත්ව සහිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී උග්‍ර වකුගඩු ආබාධය, බරපතළ ලෙස රෝගාතුර වූ වකුගඩු රෝගීන් තුළ දක්නට ලැබෙන සැලකිය යුතු සංකූලතාවක් ලෙස දැකිය හැකි බැවින් ඒ සඳහා කාලෝචිත රෝග විනිශ්චය, විශේෂිත දැනුම සහ උසස් වකුගඩු ආධාරක ප්‍රතිකාර අවශ්‍ය වන බව එහි පෙන්වා දී තිබුණි.

දිවයින පුරා දැඩි සත්කාර වකුගඩු රෝග සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත්, පසුගිය වසර කිහිපය තුළ, දැඩි සත්කාර ධාරිතාව පුළුල් කිරීම, උසස් වෛද්‍ය තාක්ෂණයන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය සඳහා පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ආදී කටයුතු සිදු කරමින් රෝගී සත්කාරයේ පෙරමුණේ සිටින මෙරට වෛද්‍යවරුන්ගේ කුසලතා සහ විශේෂඥතාව ගොඩනැගීමට කටයුතු කර ඇති බව ද මෙරට සෞඛ්‍ය සේවාවේ දැඩි සත්කාර සේවා සපයන කණ්ඩායම්වල හැකියා ශක්තිමත් කිරීමට කටයුතු කිරීම ජාතික ප්‍රමුඛතාවයක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කරුණු දැක්වීම තුළ ඇතුළත් විය.

සාමූහික ඉලක්කය

මෙවැනි හවුල්කාරිත්වයන් මෙරට වෛද්‍යවරුන්ට ගෝලීය විශේෂඥතාවන් ගෙන් ඉගෙන ගැනීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ ශ්‍රී ලාංකික සන්දර්භයට අනුවර්තනය කළ හැකි හොඳ ම පිළිවෙත් අනුගමනය කිරීමට ඉඩ සලසන බව ද වකුගඩු ආධාරක ප්‍රතිකාර ඇතුළු උසස් තීරණාත්මක සත්කාර අවශ්‍ය රෝගීන්ට කාලෝචිත, ඵලදායී සහ උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සාමූහික ඉලක්කය බව ද එහි වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

සිංගප්පූරු සායනික විශේෂඥ වෛද්‍ය කණ්ඩායම නියෝජනය කරමින්, සිංගප්පූරු මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ප්‍රධානී වෛද්‍ය හෝ වුයි කියන් (Dr. Ho Vui Kian), දැඩි සත්කාර රෝගී සේවා ඉදිරියට ගෙන යෑමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවේ වැදගත්කම සහ මෙවැනි වැඩමුළු හරහා අපගේ සායනික අත්දැකීම් බෙදා ගැනීමට සහ සත්කාර ප්‍රමිති දියුණු කිරීමට මෙන්ම රෝගී ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට මෙරට සෞඛ්‍ය සේවාවේ විශේෂඥයින් සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙහි දී අවධාරණය කළේ ය.

උග්‍ර වකුගඩු ආබාධයක් යනු...

සිංහෙල්ත් ජාත්‍යන්තර සහයෝගීතා කාර්යාලයේ අධ්‍යක්ෂ විජය රාඕ (Ms. Vijaya Rao) සඳහන් කළේ, මෙම මුල පිරීම දිගුකාලීන ගෝලීය සෞඛ්‍ය සේවා හවුල්කාරිත්වයන් සඳහා සිංහෙල්ත් හි කැපවීම පිළිබිඹු කරන බවයි. කෙටි කාලයක් තුළ එනම් පැය කිහිපයක් හෝ දින කිහිපයක් ඇතුළත සිදුවන වකුගඩු ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු අඩුවීමක් උග්‍ර වකුගඩු ආබාධයක් ලෙස අර්ථ දැක්වේ. රෝහලේ සිටින රෝගීන්, විශේෂයෙන් දැඩි සත්කාර ලබන රෝගීන් අතර, එය ඉතා සුලභ, නමුත් ඉතා බරපතළ තත්ත්වයකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමිලා ලියනගේ ඇතුළු එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්ති නියෝජනය කරමින් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

kidny 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න