2025 සැප්තැම්බර් දෙවන දා ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ පිරිසක් යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයනේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්‍යාලයට පහරදී එය බලහත්කාරයෙන් අත්පත් කරගත්හ. එහි දී පොලීසිය නීතිය ක්‍රියාවේ යෙදවීමට සහ සාමය ස්ථාපිත කිරීමටත් අසමත් වූ අතර පක්ෂග්‍රාහීව කටයුතු කළ බව පැහැදිලි විය.
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති විසින් ප්‍රාථමික නඩුවිධාන පනතේ 66 වගන්තිය ප්‍රකාරව පුද්ගලික පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. පැමිණිලිකරුවන් දස දෙනෙකු විසින් එකී ගොඩනැගිල්ලට අදාළ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි අනුබද්ධ වෘත්තීය සමිතිවලට තහවුරු කරන නියෝගයක් ඉල්ලා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.
එහි වගඋත්තරකරුවන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු 20 දෙනෙකි. ඒ අනුව මුලින්ම අධිකරණය එම දේපළෙහි භාරකාරත්වය පොලීසියට තාවකාලිකව පවරා, ජවිපෙ සාමාජිකයන් එයින් ඉවත් කරන අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය. මාස ගණනක නඩු විභාගයෙන් අනතුරුව අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විනිශ්චයකාරතුමිය විසින් තීන්දුව ලබාදෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට උක්ත දේපළෙහි භුක්තිය හිමි බව සනාථ කළා ය.
2025 සැප්තැම්බර් 02 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම අනීතික නිසා එම දේපළෙහි භුක්තිය නැවත වරක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි අනුබද්ධ වෘත්තීය සමිතිවලට බාරදෙන ලෙස අධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

