දැනට බදු ගෙවන පිරිස මත පවතින පීඩනය අවම කිරීමටත්, බදු අනුපාත පහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් රජය බලාපොරොත්තු වන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි.
ශ්‍රී ලංකා රජයේ ප්‍රධානතම ආදායම් එකතු කිරීමේ ආයතනය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දැවැන්ත ව්‍යුහාත්මක සහ සංකල්පීය වෙනසකට භාජනය වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දෙයි. විශේෂයෙන් ම, ස්වේච්ඡා බදු අනුකූලතාවය (Voluntary Compliance) දිරිමත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් පවතින බව ඔහු සඳහන් කළේ ය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදී ඉතිහාසයේ ඉහළ ම බදු ආදායම වාර්තා කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන ඇති අතර, 2026 වර්ෂය සඳහා වන ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් වූ උපායමාර්ගික සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
තාක්ෂණික දියුණුව කොතරම් සිදු වුවද, සමස්ත ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ නිලධාරීන් ගේ කැපවීම සහ කාර්යක්ෂමතාව මත බව ලේකම්වරයා අවධාරණය කළේය. ඒ අනුව, බදු ගෙවීමේ කාර්යබහුල කාලසීමාවල දී නිලධාරීන් මුහුණ දෙන පීඩනය අවම කර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපිරි සේවා පරිසරයක් සහ විධිමත් පුහුණුවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.
"Taxes - for a Better Future" තේමාව යථාර්ථයක් බවට පත්කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටි ලේකම්වරයා, වසර 94ක් පුරා මෙරට රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කිරීමට දායක වූ කොමසාරිස් ජනරාල්වරිය ඇතුළු සමස්ත නිලධාරී මණ්ඩලයට සිය කෘතඥතාව පළ කර සිටියේ ය.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
