Image

සෞඛ්‍ය වෘත්තිකයන් ගේ බඳවා ගැනීම් දේශපාලනීකරණයට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ විරෝධය

සෞඛ්‍ය වෘත්තිකයන් ගේ බඳවා ගැනීම් දේශපාලනීකරණයට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ විරෝධය

පරිපූරක වෛද්‍ය සේවාවේ නවක උපාධිධාරීන් බඳවා ගැනීමේ දී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසන ලද දැනුම මිනුම් තරගයක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින්, වෘත්තීය සුදුසුකම්වලට අමතරව දේශපාලන අභිප්‍රේරණ අනුව බඳවා ගැනීම් සහ අනුයුක්ති කිරීම් තීරණය කිරීමට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මීට මාස කිහිපයකට පෙර දැඩි තර්ජනාත්මක උත්සාහයක් ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම තත්ත්වයට එරෙහිව, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සාමූහිකව ප්‍රතිචාර දක්වමින්, අදාළ දැනුම මිනුම් විභාගයට අයදුම් නොකර වෘත්තීය අභිමානය රැක ගැනීමට කටයුතු කළ බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ බඳවා ගැනීම් දේශපාලනීකරණයට එරෙහිව වෘත්තීය අභිමානය රැකගැනීම පිළිබඳව

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් දැඩි අවධානයට ලක්කරනු ලබන්නේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ බඳවා ගැනීම් ක්‍රියාවලිය දේශපාලන බලපෑම් යටතට ගෙන යාමට සිදුකරනු ලබන උත්සාහයන් පිළිබඳවයි.

පරිපූරක වෛද්‍ය සේවාවේ නවක උපාධිධාරීන් බඳවා ගැනීමේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැකසූ දැනුම මිනුම් තරඟයක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින්, වෘත්තීය සුදුසුකම් වලට අමතරව දේශපාලන අභිප්‍රේරණ අනුව බඳවා ගැනීම් සහ අනුයුක්ති කිරීම් තීරණය කිරීමට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මීට මාස කිහිපයකට පෙර දැඩි තර්ජනාත්මක උත්සාහයක් ගන්නා ලදී.

මෙම තත්ත්වයට එරෙහිව, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සාමූහිකව ප්‍රතිචාර දක්වමින්, අදාල දැනුම මිනුම් විභාගයට අයදුම් නොකර වෘත්තීය අභිමානය රැක ගැනීමට කටයුතු කලේය.

ඒ මොහොතේ නවක පරිපූරක වෛද්‍ය උපාධිදාරීන් සිදු කල සාමූහික කැපවීම, සෞඛ්‍ය වෘත්තීය ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ ආචාරධර්මික ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ වැදගත් පියවරක් ලෙස අපි අවධාරණය කරමු.

එමෙන්ම කිසිදු සාකච්ඡාමය අවස්ථාවකට නො එළඹෙමින්, නවක වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීම සඳහා දේශපාලන අභිප්‍රේරණ මත සැකසූ ලැයිස්තුවක් සඳහා අයදුම් කිරීම අනිවාර්ය කිරීමට සහ එයට අනුකූල නොවන වෛද්‍යවරුන් රාජ්‍ය සේවාවට බඳවා නොගන්නා බවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා සිදු කරන ප්‍රකාශය වෘත්තීය සමිති සහ මහජනතාව ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු තර්ජනයකි.

මෙවන් ගැටලු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ අදාළ පරිපාලන මට්ටම් තුළ වෘත්තීයමය සාකච්ඡා මගින් විසඳාගත හැකිව තිබියදී, එම සාමුහික වෘත්තීමය සාකච්චා දේශපාලන මැදිහත්වීම් මගින් අහෝසි කර, ඒකාධිපති තීරණවල එළඹ සිටීම, බරපතළ පාලන අර්බුදයක පෙරනිමිති පහලකරවමින් සිටින බව අප අවධාරණය කරමු

ඒ අනුව, නලින්ද ජතිස්ස ඇමතිවරයා විසින් වෘත්තීය සමිති එකඟතාවයෙන් තොරව බලහත්කාරයෙන් ඉදිරිපත් කර ඇති ලැයිස්තුවට යටහත් නොවී සිටීම, වෛද්‍ය වෘත්තිකයන්ගේ පමණක් නොව, සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවේත් සහ සියලු වෘත්තීය සමිතිවල අනාගතය පිළිබඳව තීරණාත්මක සාධකයක් වනු ඇති බව, අප එම නවක වෛද්‍ය නිලධාරීන්ට ගෞරවයෙන් සිහිපත් කරමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලු වෘත්තීය සමිති මෙම තත්ත්වයට එරෙහිව සාමූහිකව පැමිණ ඇති අතර, එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගෞරවය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් බව අපි විශ්වාස කරමු.

එසේම වෘත්තීය සමිති සමග සාකච්චා නොකරමින් තීන්දු ගන්නා සෞඛ්‍ය ඇමති වරයාගේ මෙම හැසිරීම, වෘත්තීය ගෞරවය, සාධාරණ බඳවා ගැනීම් ක්‍රියාවලිය, සහ සෞඛ්‍ය සේවාවේ ස්ථායීභාවය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇත. එබැවින්, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් සහ වෘත්තීය සමිති එකමුතුවෙන් මෙම තත්ත්වයට සාමූහිකව මුහුණ දීමට අපි ආරාධනා කරමු.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න