මේ මොහොතේ කියුබාව බරපතළ අවදානමක සිටින බැවින් ඔවුන්ට අත්‍යාවශ්‍ය ආහාරවලින්, ඖෂධවලින් උපකාර කළ යුතු බවත්, අපි අපේ මිත්‍රත්වයේ දෑත් කියුබාව වෙනුවෙන් එසවීම සඳහා එකතු විය යුතු බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "කියුබාවට එරෙහි සම්බාධක කඩමු ! සහෝදරත්වයෙන් බැඳෙමු !" මැයෙන් අද (06) කොළඹ පදනම් ආයතනයේ දී කියුබාවට සහයෝගය පළකිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
එම වැඩ සටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් බෝපගේ...
කොරෝනා වැක්සීනය ලොවට දායාද කළේ කියුබාව
"මේ ඇවිත් තියෙන්නේ අපි කියුබාවට කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු මොහොතක්. අපි දන්නවා 1962 ඉඳලා කියුබාව ලෝකයේ දීර්ඝතම සම්බාධක අත්විඳිමින් ඉන්නවා. හැබැයි ඒ කියුබාව තවමත් අත් නොහැර මනුෂ්‍යත්වයේ නාමයෙන් පෙනී ඉන්නවා. ඇමරිකාව වගේ රටවල් මිසයිල බෝම්බ හදද්දි ලෝකය පුරා ලක්ෂ හතරක් කියුබානු වෛද්‍යවරුන් සේවය කරනවා. බහුජාතික සමාගම් ඖෂධ ජාවාරම් කරන වෙලාවක කියුබාව කොරෝනා වැක්සින් එක ලෝකෙට දායාද කළා. අපි දැක්කා එක වෙලාවක නැම්බියාව වෙනුවෙන් කොන්ද පණ ඇතුව කියුබාව පෙරට ආවා. මේවා සමාජවාදී කියුබාව ලෝකයේම මනුෂ්‍යත්වය වෙනුවෙන් කරපු කාර්‍යයයන්ගෙන් කොටසක් විතරයි.
ඇමරිකාව, කියුබාවට එරෙහිව සියලු අවි ඔසවා අවසන්
අද අධිරාජ්‍යවාදී රටවල් වලිකමින් ඉන්නේ ඒ සමාජවාදී කියුබාව වට්ටන්න. ඔවුන් දශක ගණනක් තිස්සේ කියුබාවට සම්බාධක පණවමින් කියුබාව ආර්ථිකව වට්ටන්න ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් ඉන්නේ. දැන් අපි ඉන්නේ තීරණාත්මක මොහොතක. අද වෙද්දි ඇමරිකාව කියුබාවට එරෙහිව සියලු අවි ඔසවලා අවසානයි. දැන් ඔවුන් සූදානම් වෙනවා ප්‍රජාතන්ත්‍රවිරෝධී විදිහට කියුබාව ආක්‍රමණය කරන්න. මේ වෙද්දි කියුබානු ජනතාව ඉන්නේ විශාල අවදානමක. ඔවුන්ට බරපතළ බලශක්ති අර්බුදයකට, ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙලා. තව පැත්තකින් කියුබාවට යුද අවදානමක් මතුවෙලා තියනවා. මේ නිසා කියුබානු ජනතාව ඉන්නේ ජීවිත අයදානමක් එක්ක.
ඒ නිසා අපි මේ වෙලාවේ අත්‍යාවශ්‍ය ආහාරවලින්, ඖෂධවලින් කියුබාවට උපකාර කරමු. අපි අපේ මිත්‍රත්වයේ දෑත් කියුබාව වෙනුවෙන් ඔසවමු. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා "
එහිදී අදහස් දැක්වූ සිනමාවේදී ප්‍රසන්න විතානගේ
කියුබාවේ මාතෘ මරණ අනුපාතය ඉහළ ගිහින්
"අද අපි මේ රැස් වෙලා ඉන්න වෙලාවේ කියුබාවට අත විතරක් නෙමෙයි ඇමරිකාව තියලා තියෙන්නේ. ඔවුන් මුළු කියුබාවටම ඉතාම අමානුෂික අන්දමින් සම්බන්ධක පනවලා ඉවරයි. අද කියුබාවට තෙල් එන්නේ නැහැ. කියුබානු ජනතාවට අවශ්‍ය ආහාර ටික ආනයනය කරගන්න පුළුවන්කමක් නැහැ. අද වෙද්දි අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කරගන්න විදිහක් නැතුව කියුබානු රෝහල්වල රෝගීන් මිය යන තත්ත්වයක් ඇතිවෙලා. මේ වෙද්දි කියුබාවේ මාතෘ මරණ අනුපාතය විශාල විදිහට ඉහළ ගිහිල්ලා.
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පැසිස්ට්වාදියෙක්
ඇයි ඇමරිකාව කියුබාව ආක්‍රමණය කරමින් කියුබාව වට්ටන්න මේ විදිහට කටයුතු කරන්නේ ? ඇත්තට ම ඇමරිකාව මේ වෙලාවේ ඉන්නේ චීනයට එරෙහි වෙළඳ යුද්ධයක. අද ඇමරිකාව තමන්ගේ කඩා වැටෙන ධනවාදී ආර්ථිකයට මුක්කු ගහන්න තෝරගෙන තියෙන්නෙ මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්. අද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ පැසිස්ට්වාදියෙක්. ඔහු ඉරානයේ ගාසා තීරයේ කුඩා දරුවන්ගේ ඔළුව උඩට බෝම්බ අතහරින්නේ ඉතාම අමානුෂික විදිහට. අද ඇමරිකාව ආඩම්බරෙන් කියන්නේ ඔවුන් ළඟ තියනවා කියලා ලෝකය එකසිය පනස් වතාවක් දවා හළු කල හැකි න්‍යෂ්ටික ආයුධ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
මේ අමානුෂිකත්වයට එරෙහි විය යුතුයි
අපි හිතනවා කලාකරුවන් විදිහට අපි මේ අමානුෂිකත්වයට එරෙහි වෙන්න ඕන. ඒ නිසා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා මේ වෙලාවේ කියුබාව වෙනුවෙන් පෙනී ඉන්න එක මනුෂ්‍යත්වයේ මූලික කොන්දේසියක්. අනිත් අතට අධිරාජ්‍යවාදී මෙලෙච්ඡත්වයට එරෙහිව වැඩ කරන ජනතාව කලාකරුවන් එකමුතු වෙලා දැවැන්ත මහජන බලයක් ගොඩ නැගිය යුතුයි. "
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ රංගන ශිල්පී කිංස්ලි ලෝස්
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වෙන ඕන ම මොහොතක ඊට එරෙහිව නැගී සිටින්න මම සූදානම්
"මම රංගන ශිල්පියෙක් නෙවෙයි. මම මනුෂ්‍යයෙක්. මොකද හැමෝම රඟපාන ලෝකෙක මට ඇත්තට ම ලැජ්ජයි රංගන ශිල්පියෙක් කියාගන්න. ලෝකෙ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වෙන ඕනම මොහොතක මම සූදානම් ඊට එරෙහිව නැගී ඉන්න. මම හිතනවා ඒක තමයි කලාකරුවෙකු ගේ සැබෑ වගකීම වෙන්නේ. අද කියුබාව ආක්‍රමණය කරන්න ඇමරිකාව ඉතාම මෙලෙච්ඡ විදිහට උත්සහ කරමින් ඉන්නවා. අපි සියලුදෙනාම ඒ කෲරත්වයට එරෙහි වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙලාවේ අපි කියුබාවට හැකි අයුරින් උදව් කළ යුතුයි. ඒ නිසා අපි සියලු ජනතාවට ආරාධනා කරනවා ඔබට හැකි සෑම අයුරින්ම කියුබාවට සහයෝගය දක්වන්න කියලා. "
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමා
කියුබානු ජනතාව අපිට සමීප වෙන්නේ ඇයි...?
"අපි මේ එකතුවෙලා ඉන්නේ මුළු ලෝකෙට ම ප්‍රභල ප්‍රකාශනයක් කරන්න. කියුබානු ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙන්, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඇයි අපි පෙනී ඉන්නේ ? අපි දැක්කා 71 කාලේ 88 - 89 කාලේ දකුණේ වගේම අවුරුදු 30ක් තිස්සේ උතුරේත් පීඩිත ජනතාව අධිරාජ්‍ය ගැති තමන්ව පීඩාවට පත් කරන පාලනයට එරෙහිව අරගල කළා. විප්ලවය, යුද්ධය, කැරැල්ල වගේ මොන නමකින් හැඳින්වුවත් මේ සියලු අරගල ක්‍රියාත්මක වුණේ පීඩනයට එරෙහිව. අන්න ඒ නිසයි අද පීඩනයට එරෙහිව සටන් කරන කියුබානු ජනතාව අපිට සමීප වෙන්නේ.
කියුබාව වෙනුවෙන් පෙනී ඉඳීම කියන්නෙ සදාචාරාත්මක කාරණයක්
1959 විප්ලවයට කලින් කියුබාව තුළ තිබුණේ අන්ත අසාධාරණ පාලනයක්. අන්න ඒ නිසයි කියුබාව එදා ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව අරගල බිමට ප්‍රවේශ වුණේ. ඔවුන් ජනතා ස්වාධීපත්‍ය වෙනුවෙන් කරපු ඒ අරගලය ලෝක ඉතිහාසයේ තීරණාත්මක අරගලයක් විදිහට ලියවිලා තියනවා. අද සමහරු කියුබාවට ගැන කතා කරන්න බයයි. හැබැයි අපි හිතනවා කියුබාව වෙනුවෙන් පෙනී ඉඳීම කියන්නෙ සදාචාරාත්මක කාරණයක්. මුළු ලෝකෙන්ම තනිවෙද්දි නොනැවතී සම්බාධක පැටවෙද්දි කියුබානු ජනතාව තවමත් සමාජවාදී ධජය රැකගෙන ඉන්නවා. අද ඇමරිකානු අධිරාජ්‍යවාදය මුළු කියුබාවම සාගතයෙන් මියැදේවා කියලා හිතාගෙන කියුබාවට එරෙහිව අවි ඔසවද්දිත් කියුබානු ජනතාව නෑ අපි යටත් වෙන්නෑ කියන හැඟීමෙන් සඨන් කරමින් ඉන්නවා.
කියුබාව රැක ගැනීම අපේ වගකීමක්
අපි දන්නවා අදටත් ලෝකයේ දියුණුම නිදහස් සෞඛ්‍ය සේවයක් සහ ලෝකෙ දියුණුම අධ්‍යාපන ක්‍රමයක් කියුබාව සතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට HIV වෛරසය මව ගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම ලෝකෙ පළමු වතාවට නැවත්තුවේ කියුබාව. ඔවුන් මේ සියලු ජයග්‍රහණ ලැබුවේ අර ඇමරිකානු සම්බාධකවලට මුහුණ දෙන ගමන්. ඉතින් ඒ කියුබාව රැක ගැනීම කියන්නෙම මේ වෙලාවේ අපේ වගකීමක්. ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉදිරියේ නිවට නියාලු පිළිවෙතක් අනුගමනය කරන්න අපිට පුළුවන් කමක් නෑ. ගාසා තීරය වෙනුවෙන්, ඉරානය වෙනුවෙන් වගේ ම කියුබාව වෙනුවෙනුත් අපි මේ වෙලාවේ අපේ සහයෝගය පළ කරන්න සූදානම්."
සටහන - ජයසිරි අලවත්ත

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
