Image

නිවැරදි කිරීමේ අයිතිය සහ සිළුමිණ

නිවැරදි කිරීමේ අයිතිය සහ සිළුමිණ

'නිවැරදි කිරීමේ අයිතිය' ගැන පුද්ගලික මාධ්‍ය මත පදනම්ව සාකච්ඡාවක් සිදු‍වෙනවා. මේ තියෙන්නේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා 'නිවැරදි කිරීමක්' ලැබුණු විට එයට සමාජ මාධ්‍ය මගින් දක්වන ප්‍රතිචාරයයි.

උපුටා ගැනීම

//ස්තුතියි මචං ඕක ඔච්චර කල් තියාගෙන ඉඳලා මෙතන දැම්මට. මම හිතුවේ අපි තාමත් පරණ යාළුවෝ කියලා. උඹේ පිටපත ලැබුණු ගමන් මට එවන්න තිබුණනේ මචං. දැන් උනත් මෙතන එල්ලුව එකට තෑන්ක්ස්. ආ අමතක වුණා කවද්ද බං උඹ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මාධ්‍ය නිලධාරි පත්වීම ගත්තේ. අඩෝ අපේ සුබ පැතුම්. අලුත් රස්සාවට අදාළව උදව්වක් අවශ්‍ය වුනොත් කියපං මචං. ආණ්ඩුකාර ධුරයක් දරලා ඔයා වගේ තනතුරක් බාරගත්ත උඹේ නිහතමානීකමට මගේ ගෞරවය. හල්දුම්මුල්ල පැත්තේ එනවනම් කියන්නම්. අපි මුණගැහෙමු. මම පෞද්ගලිකව නොහඳුනන ප්‍රාදේශීය ලේකම්තුමියට සුබ පැතූ බව කියන්න. උඹට එදා වගේම මෙදාත් ජය.//

උපුටා ගැනීම අවසන්.

මේ, ඩිලාන් පෙරේරා මැතිතුමා ගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වූ ද තමන් ඉන්දික, මංගල සහ තොන්ඩමන් අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ඒකකවල රස්සාව කළ බව අභිමානයෙන් පවසන, වත්මන් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ මා මිත්‍ර සිසිර යාපා සමාජ මාධ්‍යයේ මේ ලිපිය ගැන ලියා ඇති කතාවයි.

මේ ලිපියේ අතීත හා වර්තමාන කතාව කෙටියෙන් මෙහෙමයි.

සිළුමිණ පුවත්පත 2025 ජනවාරි 12 දින මා සම්බන්ධයෙන් සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ද, පිටුවක විශේෂාංගයක් ද පළ කළේය. මොණරාගල තණමල්විල මා වගා කරන ඉඩමක ඡායාරූප සහ තොරතුරු, එම ලිපිය මගින් බදුල්ල හල්දුම්මුල්ලේ රක්ෂිතයක පිහිටි ඉඩමක් ලෙස දක්වා කරුණු වාර්තා කර තිබුණි. මේ කතාව මුලින්ම පැවසූවේ ඇමති සමන්ත විද්‍යාරත්න ය.

නියෝජ්‍ය කර්තෘ ලෙස විධිමත් පත්වීමක් ලබා සිටි සුමුදු චතුරාණි ජයවර්ධන ගේ වැඩ තහනම් කර එතැනට පත් කරන ලද තාරක වික්‍රමසේකර ගේ නම සහිතව අදාළ ලිපිය පළ කර තිබුණි. (සුමුදු චතුරාණි පත්වීම සම්බන්ධයෙන් අභියෝගකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත)

එම මුල් කතාව පට්ටපල් බොරුවක් බැවින් මම එයට ඇමති සමන්ත විද්‍යාරත්නට හා ස්වාධීන රූපවාහිනියට විරුද්ධව අංක DMR/1467/25 දරණ අපහාස නඩුව පවරනු ලැබුවෙමි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මා වගා කරන ඉඩම රක්ෂිතයේ නොවන බවත්, එය හල්දුම්මුල්ලේ නොව තණමල්විල පිහිටා ඇති බවත් සිතියමක් ඇද එය අධිකරණයට ඉදිරිපත් කර ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාගේ ඉඩම රක්ෂිතයක් නොව වගා ඉඩමක් බව ද ලිඛිතව දක්වයි.

මා විසින් ඇමති සමන්ත විද්‍යාරත්න පැවසූ පරිදි රජයේ අඹ පැළ ලබාගැනීමක් සිදු කර නොමැති බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම් දී ඇත. (මා වත්තේ නැකතට සිටවූ අඹ ගස් කිහිපයක් හැර වානිජ්‍ය අඹ වගාවක් ද නැත)

මාධ්‍ය නිදහසට ගරු කරන මම මේ සිළුමිණ ලිපියට නිවැරදි කිරීමක් යොමු කළෙමි. එය ඉහත සටහන තැබූ ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක වෙත ද යොමු කළෙමි. ලේක් හවුස් ආයතනය විසින් සම්මුඛ පරීක්ෂණයකින් තොරව පත් කළ සිළුමිණ පැරෂුට් ප්‍රධාන කර්තෘ උදේනී සමන් කුමාර එය පළ කිරීමට ක්‍රියා නොකළේ ය.

ඉන් පසු මම මේ ගැන පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළෙමි.

සුමුදු චතුරාණි ඉවත් කර විශේෂාංග කර්තෘ ධූරයට පත් කළ තාරක වික්‍රමසේකර එම ලිපියේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය උපුටා දක්වමින් ලියා ඇත. මේ සමඟ ඇත්තේ ඒ ගැන ප්‍රාදේශීය ලේකම්වරිය ගේ පිළිතුරයි. මාගේ ඉඩම සම්බන්ධයෙන් ලිපියේ ඇති ප්‍රකාශයක් තමන් සිදු නොකළ බව ප්‍රා.‍ලේ. කියයි. ලේඛකයා තමන් ගෙන් එවැනි විමසීමක් සිදු නොකළ බව ද හඟවයි.

මේ අද ලේක් හවුසියේ අද මාධ්‍ය භාවිතය යි; මිත්‍රවරුණි, මේ අද ලේක් හවුසියේ තත්ත්වය යි.

සිසිර යාපා මේ ආණ්ඩුව පත්වීමට පෙර ජවිපෙ ට හිතවාදී A5 වෙබ් අඩවියේ සංස්කාරකවරයාව සිටියේය. එහි අර්ථපතියා වූයේ ගල්අඟුරු චංචාව පිළිබඳ චෝදනාවට ලක් ව ඇති, අල්ලස් කොමිසම විසින් දුෂණය නම් වරද සිදු කරන ලදැයි මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇති, ළඟ දී ඉල්ලා අස්වීමට බලකෙරුණු පුන්‍ය කුමාර ජයකොඩි හිටපු බලශක්ති ඇමතිවරයා ය.

ජීවිත කාලය පුරාම මාධ්‍ය නිදහස, ආචාර ධර්ම ගැන සුන්දර කතා කරපු උදවිය බලය තනතුරු ලැබුණු පසුව සිය රස්සාව කරන්නේ ද, සමාජ මාධ්‍යයේ හැසිරෙන්නේ මේ විදිහටයි.

එදා සිළුමිණේ පිටපත ලිව්ව මහින්ද අබේසුන්දර කොච්චර ගුණයහපත් මිනිහෙක්ද?

රජිත් කීර්ති තෙන්නකෝන්

bandulla

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න