වර්තමාන රජය පච ආකරයක් බවත් ටොම් පච කියා රටේ ජනතාව අන්දවා අද වන විට ජනතාව ලබා දුන් කතිරයෙන් රජ වී ඇත්තේ ජනතාව නොව බොරුව සහ අසත්‍ය බවත් මේ අවස්ථාවේ බොරුකාර පචකාර දේශපාලනයෙන් ඉවත්වී රජය ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) තිස්සමහාරාමය උඩුවිල ගංගාරාම රජමහා විහාරයට සහ පච්චමහාරාම පුරාණ රජමහා විහාරයට පැමිණ, එම විහාරයන්හි වැඩවසන ගරුතර මහා සංඝරත්න බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජයට විරුද්ධව එන්තරවාසි...?
''දිට්වා සුළි කුණාටුවෙන් ලක්ෂ 50, ලක්ෂ 100 වන්දි මෙන්ම ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වත් ඒ කිසිවක් සිද්ධ වුණේ නෑ. විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි කිව්වත් අද වන විට විදුලි බිල වැඩි කරලා. වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙනවා කිව්වත් එයද සිද්ධ වුණේ නෑ. අද වන විට ලෝකයේ බරපතළ ගැටලුවක් මතුව ඇති මොහොතක, බොහෝ රටවල් තෙල්වලට ගසා ඇති බදු අඩු කර ඇති මොහොතක බදු පිට බදු ගසා තෙල් මිල වැඩි කරනවා සේම වැඩි මුදලක් ගෙවා ඉන්ධන ගෙනවිත් ජනතාවට වැඩි මිලකට අලෙවි කර තිබෙනවා. පුරවැසියන්ගේ කරපිට බදුබර පැටවීම මේ රජයේ පොරොන්දුවක් නෙවෙයි. බදු බර ලිහිල් කර ජනතාවට සහන දෙනවා කිව්වත් විදුලි බිල ඉන්ධන මිල වැඩි නොකරන බව කියා බලයට පැමිණ බාල ගල් අඟුරු ගෙනවිත් විශාල වංචාවක් සිදුකළා. බාල ගල් අඟුරු ගෙනවිත් විදුලිය නියමිත පරිදි උත්පාදනය කළ නොහැකි වී තිබෙනවා. මේ නිසා ඇතිව තිබෙන බර ජනතාව ගේ කරපිට පටවා ජනතා විරෝධී ආණ්ඩුවක් ලෙස ක්‍රියාකරනවා. මේ කියන ටොම්පචවලට විරුද්ධව පොරොන්දු කඩ කළාට ලක්ෂ 220ක් ජනතාව රජයට විරුද්ධව එන්තරවාසී යැවිය යුතු යි.
පළාත් සභා මැතිවරණය පවත්වා ජයග්‍රහණය කර පෙන්වන්න
මේ අවස්ථාවේ රටේ ජනතාව සහ ආයතන මර්ධනය කරන, මාධ්‍ය මර්ධනය කරන සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරමින් පවතිනවා. රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට සැලෙන්නේ නැහැ. නිදහස් මාධ්‍ය ආරක්ෂා කිරීමට විපක්ෂය පෙනී සිටිනවා. මාධ්‍යවේදීන් යම් යම් කරුණු කාරණා ප්‍රශ්න කරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා මාධ්‍ය මර්ධනය කරන්න උත්සාහ කරනවා. රටට නිදහස් මාධ්‍යයක් සේම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය යි. නිදහස් මාධ්‍ය විසින ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරනවා. දැන් රටේ ලක්ෂ 220ම මේ නිසා රජයට විරුද්ධව එන්තරවාසි යවන්න සූදානම්. මැතිවරණ පොරොන්දු සියල්ල ටොම් පචවලට පරිවර්තනය වී ඇති නිසා මේ ටොම්පච ආණ්ඩුව පරාජය කරන්න ජනතාව සූදානම්. ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. එවිට ටොම්පච ආණ්ඩුවට ජනතාවගේ විරෝධය දැකගැනීමට හැකි යි.
පාස්කු විමර්ශනදේශපාලනීකරණය කරන්න එපා
අප රටේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ජීවිත, දේපළ, ආගමික සිද්ධස්ථාන විනාශ වුණා. 2019 සිට මේ වෙනුවෙන් යුක්තිය ඉටු වනු ඇති බවට අපේක්ෂාවෙන් සිටිනවා. මේ නීච කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් කවුද කියා දැන ගැනීමට කැමැත්තෙන් සිටිනවා. සත්‍ය කුමක්ද කියා අනාවරණය කිරිමට දේශපාලන බලපෑමෙන් තොරව විනිවිදභාවයෙන් යුක්තව පරීක්ෂණ කටයුතු සිදුවිය යුතු යි. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගෙන පරීක්ෂණ කටයුතුවල විනිවිදභාවය තවදුරටත් තහවුරු කරන්න රජය කටයුතු කළ යුතු යි. ඒ හරහා සත්‍ය අනාවරණය කිරිමට රජය කටයුතු කළ යුතු යි. පුද්ගලයන් කණ්ඩායම් විවිධ ජන සමාජ ඉලක්ක කර ගෙන මේ ගමන යා නොහැකි යි. මේ සත්‍ය සොයන ගමනෙන් දේශපාලනය ඉවත් කර නිවැරදි කරුණු කාරණා කුමක්ද කියා අවබෝධ කර ගැනිම සොයා ගැනීම මෙහි දී සිදුවිය යුතු යි. සමගි ජන බලවේගය සත්‍ය වෙනුවෙන් නිවැරදි තොරතුරු වෙනුවෙන් පෙනී සිටිනවා. කිසිදු දිනක මේ පාස්කු ප්‍රහාරය ගැන පරික්ෂණ දේශපාලනීකරණය කරන්න ඉඩ තබන්නෙ නැහැ. එම නිසා ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගෙන විනිවිදභාවයෙන් යුක්ත පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා. මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් උපරිම දඩුවම් ලබා දීම රජයේ යුතුකම සේම ඒ වෙනුවෙන් සහාය ලබා දීම අප සියලු දෙනාගෙම වගකීම යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
