මේ මොහොතේ ලංකාවට වැදගත්ම දේ වන්නේ සියලුදෙනා ම එකමුතුව වැඩකිරීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (23) පැවැති දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය අමතා කළ කතාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
''අද අපි මේ එකතු වෙලා ඉන්නේ හිටපු වරාය ආමත්‍යවරයෙකු වන දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමන්ගේ 33 වෙනි ගුණානුස්මරණ සැමරුම වෙනුවෙන්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවමින් රටේ ආර්ථිකයට පුනර්ජීවයක් ලබාදී ඉතාමත් සංවර්ධිත, කාර්යක්ෂම වරායක් වශයෙන් කොළඹ වරාය දියුණු කොට, රටටත් වරායේ සේවකයින්ටත් ඉටුකළ මහඟු සේවයට අපි එතුමන්ට අපේ කෘතඥතාවය පළ කර යුතුයි.
ශෝචනීය අවසන් ගමනක්
කොහොම නමුත් මීට අවුරුදු 33 කට කලින් එතුමා අවාසනාවන්ත ලෙස මිය යනවා. ඝාතකයා හෙව්වත් වැඩක් වුණේ නැහැ. ඒවා කාලය නාස්ති වෙන වැඩ විතරයි.
ඇතුලත්මුදලි මැතිතුමා මහා විශාල සේවාවක් කරපු කෙනෙක්. එතුමා අපේ පක්ෂයෙන් කැඩිලා ගියා, ඊට පස්සේ රාජාලියා හැදුවා. මට මතකයි එතුමා මගේ නිවසට එනවා ගාල්ලේ රාජාලියා රැළි වලට. ඒ අවස්ථාවලදී එතුමා මට කියලා තියනවා “වජිර මට උදව් කරන්න කියලා, මම කිව්වා බැහැ කියලා.”
මම කිව්වා අපේ පක්ෂයට එකතු වෙන්න කියලා. කොහොම හරි අවසානයේ එතුමා අවසාන ගමන ගියේ ඉතාම ශෝචනීය විදිහට. ඉතින් එතුමාව සිහිපත් කරන එක ඉතා වැදගත්. මේ වගේ අවස්ථාවක සියලු සේවක සංගම් කල්පනා කළ යුත්තේ වෙන්නේ මොකක්ද ? ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එකයි. කොහොම නමුත් සියලුදෙනා ම එකමුතුව වැඩකරන එක තමයි මේ වෙලාවේ ලංකාවට වැදගත්ම දේ වෙන්නේ. බෙදිලා ගහගෙන මරාගත්ත ප්‍රමාණය කොච්චරද කියලවත් කියන්න බැහැ.
'මහපොළ' නිර්මාණයේ ඇරඹුම
මන් දන්න කෙනෙක් හිටියා මහින්දපාල කියලා ඒ කාලයේ වරායේ වැඩකරපු. එයා තමයි මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ලලිත් ඇතුළත්මුදලි මැතිතුමත් එක්ක රට වටේ අරගෙන ගිහින් සල්ලි එකතු කරලා මේ අරමුදල හැදුවේ. ඒ මහින්දපාලටත් මේ වරාය ඇතුළේ වෙඩි තියලා මරලා දැම්මා. මේ විදිහට වෙඩි තියලා මරලා දාන එකට ලොකු ඉතිහාසයක් තියෙනවා අපේ රට ඇතුළේ. මේ ඉන්න අයත් තමන්ගේ දහඩිය මහන්සිය කැප කරලා මේවා නිර්මාණය කරන්න කැප වෙන කණ්ඩායමක්. මේ අය තමයි ජාතියේ හදවත වගේ තිබෙන මේ වරායට හයියක් වෙන්නේ. මේ අයට හයියක් වෙන එක ආණ්ඩුවේ වගකීමක්.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමති කාලේ මම අහලා තියනවා, මම තරුණයෙක් විදිහට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිලා තිබෙන නිසා මහපොළ වැඩසටහන අයිති අධ්‍යපාන ඇමතිට කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එන්න කියලා අහනවා ලලිත් කියනවා විශ්වවිද්‍යාල ළමයින්ට එයා මහපොළ පටන් ගන්නවා ඔයා මොකද කියන්නේ කියලා? දැන් රනිල් මහත්තයා ඒ වෙලාවේ මේකට විරුද්ධ වුණොත් මේ මහපොළ වැඩේ පටන් ගන්න බැරි වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තමයා කියනවා ලලිත් ඒක කරනවනම් මම මගේ අමාත්‍යංශයේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. එහෙම තමයි මහපොළ නිර්මාණය වෙන්නේ.
අද දවසේ කතාවෙන හොරකම
කොහොම නමුත් මේ වගේ දෙයක් කරපු කෙනෙක්ට අපේ ජාතිය සලකපු විදිහ ගැන නම් අපි ජාතියක් විදිහට කණගාටු විය යුතුයි. එතුමා එක්සත් ජාතික පක්ෂය අතහැරලා ගිය ගමන් එතුමාට හොරා කියන ලේබල් එක ගැහුවා. ඒ තමයි අපේ බෙදීමේ ස්වභාවය. ඔන්න අපේ කට්ටිය බිත්තිවල අලවනවා නැව් ගිල්ලා කියලා. දැන් මේ හොරා කියන සංකල්පය තියෙන්නේ සිංහල බෞද්ධයින් අතරේ විතරයි. දෙපැත්තට බෙදිලා ගහගන්නවා. ඒ නිසා සිංහල බෞද්ධයින් ලෙස අපි ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.
දේශපාලන භූමියේ තියෙන ප්‍රධානම සටන් පාඨයක් තමයි හොරා, හොරා කියන එක. දැන් අහුවෙලා තියෙනවනේ හොරා කවුද කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට මහාභාණ්ඩාගාරයට රොබරියක් දීලා තිබෙනවා. මේක නම් ලේසි වෙන්නේ නැහැ. ඕක අනුමත කරගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවලා, මොකද දෙපාරක් සල්ලි ගෙවන්න බැහැ දෙවැනි පාර සල්ලි ගෙවන්න නම් පාර්ලිමේන්තුව කැඳවලා ආපහු අහන්න ඕනේ තව පාරක් ගෙවන්න ඩොලර් බිලියන 2.5ක් දෙනවාද කියලා. දැන් මම මේ කිව්වේ අද දවසේ කතාවෙන හොරකම ගැන.
මෙන්න මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කල්පනා කරලා කිව්වේ අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ ජාතියක් හැටියට ගොඩයන්න නම් කියලා. මොකද නැතිනම් දෙපැත්ත බෙදිලා ගහගන්නවා මිස ගොඩයෑමක් නැහැ. මෙතනත් වෘත්තිය සමිති නායකයෝ ගොඩාක් ඉන්නවා, ඒක බොහොම හොඳයි. ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් තමයි වරාය තියාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වරායට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ.
ආණ්ඩුව කරන ළමයි දන්න දේ
මම මෙතැන ඉන්න ගමන් සාගල ඇමතිතුමා එක්ක කතා කරේ නැව් තටාංගනය ගැන. මොකද අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ජාත්‍යන්තර දේශපාලනයත් එක්ක. ඒ ගැන විශේෂම අවධානයක් යොමු කරන්න ඕන තැනක් තමයි කොළඹ වරාය. කවුරුහරි ආයෝජකයෙක් එනකොට කල්පනාවෙන් බලන්න ඕනේ ජාත්‍යන්තර දේශපාලනය දිහා.
අපි කල්පනාවෙන් ක්‍රියා නොකළොත් ජාතියක් හැටියට අනතුරේ. කාටවත් බණින්න එපා, බැණලා වැඩක් නැහැ. දැන් මේ ආණ්ඩුවේ ළමයින්ටත් බණින්න එපා. ඒ ළමයින්ට තේරෙන දේ තමයි ඒ ළමයි කරන්නේ. ඒ ළමයි අවුරුදු 65ක් 70ක් තිස්සේ ඒගොල්ලෝ දන්න දේ කරා. ඒ තමයි තාප්ප, පාප්ප, පෝස්ටර්. ඉතින් මොකක්ද කරන්නේ ඒ ළමයි දන්න දේ ඒකනේ.
දැන් ඒ ළමයි ලස්සන ගෙයක් හදාගත්තාම ඒකට බණින්නත් එපා. අවුරුදු 30 ක් 40ක් කැලේ හිටපු අය ගෙයක් හදන එක කොච්චර හොඳද? ඒක වරදක් නෙවෙයි. ඒවට බැණලා රණ්ඩුවෙලා අපහාස කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට මේ ගමන යන්න බැරි වෙනවා. අපිට ඔක්කොම ඕනේ. සියලුම දෙනා එකතු වුණොත් විතරයි රට ගොඩගන්න පුළුවන්. නැත්නම් ලොකු අර්බුදයකට ජාතියක් හැටියට අපිට මුහුණ දෙන්න වෙනවා.
මම ඒකයි ඊයෙ පෙරේදා වෙන ස්ථානයක කතා කරනකොට කිව්වේ කල්පනාවෙන් වැඩ නොකරොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් වෙයි කියලා ආපහු. එච්චරට අපි බෙදිලා. ඒ නිසා තමයි අපි බලන්නේ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න.
ජාතික නායකයෝ 120 ක් පමණ අකාලයේ ඝාතනය කළා
එතුමා ගැන බය වෙන්න එපා, එතුමා දැන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ. ඔය ඔපරේෂන් එක 65 දී එහෙම කරා නම් 75 දී විතර රිටයර් වෙනවා. දැන් 77 දිනේ රිපෙයාර් එක කරේ. දැන් 87 නෙවෙයි 97 වෙනකන් අවුරුදු 20ක් ශ්‍රී ලංකාව සුරක්ෂිතයි කියලා මට බය නැතුව කියන්න පුළුවන්. දැන් ඕවා කිව්වාම සමහර අය මට බණීවි, මට බැණලා වැඩක් නැහැ. ඕන තරමක් බණින්න. රට සුරක්ෂිත නම් කවුරු බැන්නත් මට කමක් නැහැ.
බලන්න අපේ නායකයෝ ඔක්කොම මරලාදාලා. අද වගේ දවසක ඒක සිහිපත් කරගන්න එක ඉතා වැදගත්. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2022 ජූලි 20 වෙනිදා viii වැනි විධායක ජනාධිපති වුණාට පස්සේ මම පාර්ලිමේන්තුවේ කතාවක් කරා. මගේ කතාව හැන්සාඩ් එකේ තියෙනවා. මම කිව්වා අපේ හිටපු ජාතික නායකයෝ 120 ක් පමණ අකාලයේ ඝාතනය කරපු හැටි. ඉතින් තවත් අපි බෙදිලා අපේ දේශපාලනය කළොත් මුහුදෙන් එපිට ඉන්න අය අපිව යටත් කරගනී. එහෙම වුණොත් ජාතියක් හැටියට අපි වැනසෙයි. ඒවා පාලනය කරන්න අවශ්‍ය නීති රීති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගොඩක් ගෙනාවා. ඒ නිසා තමයි මැතිවරණ මුදල් පාලනය කරන්න පනත ගෙනාවේ, එක එක කෙනාට ඕන ඕන විදිහට සල්ලි දාලා මේ රටේ දේශපාලනඥයෝ හදන්න බැරි වෙන්න. ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවේ මිනිස්සු එකට හිතලා වැඩ නොකළොත් අපේ ජාතිය අනතුරේ. ඔච්චරයි මතක තියාගන්න ඕනේ.
ආසනයක් නැතත් ජනපති විය හැකියි
කොහොම නමුත් එක වාසනාවක් අපිට ඉතුරු වෙලා තියෙනවා, ඒ අපේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා. සමහර අය කල්පනා කළා එක්සත් ජාතික පක්ෂය දුර්වලයි කියලා. එහෙම දුර්වල නැහැ. එක ආසනයක් තිබුණාම ඒකෙන් අපි අගමැති වෙලා ජනාධිපති වුණා. එකක්වත් නොතිබුණාමත් මතක තියාගත්තට කමක් නැහැ. ඒත් අපිට ජනාධිපති කෙනෙක් බිහි කරන්න පුළුවන් කියලා. ඒක තමයි මේකට එක්සත් ජාතික පක්ෂය කියන්නේ. ඒක හොඳට හිතේ තියාගන්න. එකක්වත් නැති වුණාමත් එහෙමයි, එකක් තිබුණත් එහෙමයි. ඉතින් ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාම කල්පනාවෙන් වැඩ කරන්න ඕන, ජාතිය ගැන හිතලා වැඩ කරන්න. එහෙම වුණොත් මේ වගේ අකල් මරණ පිළිරූ ගොඩනගන්න සිදු නොවේවී කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා කියලා මම නිහඬ වෙනවා.
ජාතික සේවක සංගමය මගින් කොළඹ වරාය ජයබහලු පිවිසුම ඉදිරිපිට ඇති ලලිත් ඇතුළත්මුදලි ප්‍රතිමාව අසල සංවිධානය කර තිබු මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාර්යවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුලු ජාතික සේවක සංගමය නියෝජනය කරමින් පිරිසක් සහභාගීව සිටියහ.
මාධ්‍ය ඒකකය - එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
