ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ ටෙනිසන් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට අසූ හයවන වියේ පසුවූ ඔහු, කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළු කෘති සියයකට අධික සංඛ්‍යාවක් මෙරට පාඨක සමාජයට දායාද කළ ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. ඔහු මෙරට සාහිත්‍ය කලාව තුළ කෙටිකතාකරුවකු, නවකතාකරුවකු සහ පරිවර්තකයකු ලෙස ද සුවිශේෂී සලකුණක් තැබීමට සමත් විය.
1940 වසරේ පෙබරවාරි මස 02වනදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේ දී උපත ලැබූ ටෙනිසන් පෙරේරා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ රජයේ මුද්‍රණාලයේ ආධුනිකයෙකු වශයෙනි. එකල පුවත්පත් සහ සාහිත්‍ය කලාව වෙත යොමු වූ ඔහු, කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කරමින් වාමාංශික දේශපාලනයෙහි ද සක්‍රීයව නිරත වූ චරිතයකි. ඔහු ගේ මෙම මුල් කාලීන වාමාංශික දේශපාලන පසුබිම, පසුකාලීනව ඔහු ගේ නිර්මාණ හරහා සමාජීය හා ආගමික ආන්දෝලනයන් ඇති කිරීමට ප්‍රබල බලපෑමක් එල්ල කළේ ය.

නූතනවාදී සහ පශ්චාත් නූතනවාදී ලේඛන කලාවේ ආභාසය ලබමින් මෙරට සාහිත්‍යයට නව මානයන් එක් කළ ඔහු, සිය නිර්මාණ සඳහා නිරන්තරයෙන්ම පීඩිත පන්තියේ ජනතාව ගේ ජීවන අත්දැකීම් පාදක කර ගත්තේය. ආගමික සංස්ථා, ජාතිවාදය, ධනේශ්වර සමාජ ක්‍රමය සහ සමාජ අසමතුලිතතා කිසිදු පැකිළීමකින් තොරව නිර්දය ලෙස විවේචනය කිරීම ඔහු ගේ ලේඛන ශෛලියේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. අදටත් ඔහුගේ කෘති සමාජ විචාරාත්මක සාහිත්‍යයේ කදිම ආදර්ශයක් ලෙස සැලකෙන්නේ එබැවිනි.
ඔහුගේ ලේඛන දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ 1967 වසරේදී රචනා කළ “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහයත් සමගිනි. කාර්මික බුදුවරයෙකු ගේ අවශ්‍යතාවය යෝජනා කරමින් ධනේශ්වර සමාජය සහ ආගමික ආයතන විවේචනයට ලක් කළ එම කෘතියෙන් බුදු දහමට අපහාස වන බව පවසමින් බෞද්ධ සමිති සම්මේලනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රජය විසින් එම ග්‍රන්ථය තහනම් කරන ලදී. එය ශ්‍රී ලංකාවේ තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථය ලෙස ඉතිහාසයට එක්වන අතර, ඒ හේතුවෙන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම්වලට ද ලක් කළේය. කෙසේ වෙතත්, අදාළ කෘතිය පසුකාලීනව නැවත මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරිණි.
1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන ආරම්භ කළ ටෙනිසන් පෙරේරා මහතා, පසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කළේය. 1968 දී පළ කළ “දුට්ඨගාමිණී නොමළ වගයි”, බෝසත්වරියකගේ කතාවක් ඔස්සේ ස්ත්‍රීවාදී තේමාවන් සහ මහායාන බෞද්ධ සංකල්ප සාකච්ඡාවට ලක් කළ “සක්වළ දඩයම”, මෙන්ම “එකොළොස් ගිනි”, “දණ්ඩභූමි” සහ “සසර දිගන්තය” යනාදි නවකතා රැසක් ඔහු රචනා කර ඇත. ඊට අමතරව ෆ්‍රාන්ස් කෆ්කාගේ “The Trial” කෘතිය ‘නඩු යන්නෝ’ ලෙසත්, “Metamorphosis” කෘතිය ‘රූපාන්තරණය’ ලෙසත් සිංහලයට පරිවර්තනය කළ ඔහු, “අරාබි නිසොල්ලාසය” ද සිංහල භාෂාවට නගමින් මෙරට පාඨකයින් ගේ සාහිත්‍යමය අවබෝධය පුළුල් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
දශක ගණනාවක් පුරා විහිදුණු ඔහුගේ මෙම අමිල සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහු ජාතික මට්ටමේ සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු විසින් රචිත “මහා රාවණා” කෘතිය ෆෙයා වේ (Fairway) සම්මානයෙන් ද, “අසිරිමත් වැඩබිම” කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඇගයුමට ලක් විය. තව ද, ඔහුගේ “භවාන්තරය” සහ “අබිරහස් ජීවිත තරණය” යන කෘති ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ද නිර්දේශ වුණි.
මූලාශ්‍ර -gossiplankanews
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
