Image

ජාතික කලාභවන; පෞද්ගලික ගැලරිකරුවන්ට දුන් බිල්ල ද...?

ජාතික කලාභවන; පෞද්ගලික ගැලරිකරුවන්ට දුන් බිල්ල ද...?

සිය වසකට අධික කාලයක් තිස්සේ මෙරට කලාකරුවන්ගේ කලා නිර්මාණය ප්‍රදර්ශනගාරය මෙන්ම සාඩම්බර ජාතික උරුමයක් වූ කොළඹ ජාතික කලාභවන ජාතියට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

කොළඹ ජාතික කලාභවන සහ ජෝන් ද සිල්වා සමරු රඟහල පරිශ්‍රය අලුත්වැඩියා කර නවීකරණය කරන මුවාවෙන් වසා දමා දැනට වසර 16ක් වන අතර මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැයකර ඇත.

මෙම කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් සැලසුම් සකසා උපදෙස් දුන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එහි ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේ ය. කලාභවන ප්‍රතිසංස්කරණය මේ වන විට එක්තරා කල්ලියක් වෙත මාසිකව ලක්ෂ ගණනින් මුදල් ගලන උල්පතක් බවට පත්ව ඇති අතර එය ප්‍රතිසංස්කරණයට මුවාවී පියවරෙන් පියවර විනාශ කරමින් ඇතැයි චෝදනා නැගෙයි.

පසුගිය සමයේ සිදුකළ සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව වාර්තා වන අතර බිත්ති පුපුරා ඉරිතළා ගොස් තිබේ. එපමණක් නොව කෝටි ගණනක් මහජන මුදල් යට කළ නවීන වැසිකිළි පද්ධතිය, විදුලිබල පද්ධතිය, වහල, ජල පොකුණු ඇතුළු සමස්ත රඟහල ම විනාශ මුඛයට පත්ව තිබේ. ජල පොකුණේ ජල කාන්දුව ප්‍රධාන ශාලාවෙහි පාදම විනාශ කරමින් කුලුණු දක්වා පැතිර අවසන් ය.

මිල කළ නොහැකි ඉපැරණි චිත්‍ර 47කට අධික ප්‍රමාණයක් අතුරුදන්

මේ සියලු විනාශ මැද දශක ගණනාවක් කලා භවනේ ප්‍රදර්ශනය කළ මිල කළ නොහැකි ඉපැරණි චිත්‍ර 47කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයිද මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස අතුරුදන්ව ඇති වටිනා සිතුවම් අතර ඒ.සී.ජී.එස්. අමරසේකර, ජේ.ඩී.ඒ. පෙරේරා යනාදි විශිෂ්ට නිර්මාණකරුවන් ගේ නිර්මාණද වෙයි.

මේ අතරින් චිත්‍ර කිහිපයක් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුගේ සහෝදරියගේ සැමියා ද කැසිනෝ ව්‍යාපාරිකයෙකු ද සතුව ඇතැයි දැනගන්නට තිබේ. මෙම මංකොල්ලය සඳහා එහි මුරකරුවන්ගේ ද සහාය ලැබී ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.

රටේ සාඩම්බර උරුමයක් ජාතියට අහිමි කිරීමකි

මේ වන විටත් පරම්පරා තුනක කලාකරුවන්ට කලා භවනේ සිය කලා කෘති ප්‍රදර්ශනය කිරීමට තිබූු ඓතිහාසික අවස්ථාව පැහැරගෙන ඇති අතර එහි පැමිණ නිදහසේ කලාකෘති රසවිඳීමේ අයිතිය දෙස් විදෙස් කලා රසික ප්‍රජාවට අහිමි කර ඇත. සැබවින් ම මෙය රටේ කලා ඉතිහාසය පමණක් නොව වර්තමානය සහ අනාගතය ද විනාශ කර දමන මහා අපරාධයකි. රටේ සාඩම්බර උරුමයක් ජාතියට අහිමි කිරීමකි.

වර්තමාන බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ඉතා ඉක්මනින් කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර විවෘත කරන බවට ලබාදුන් පොරොන්දු තවත් විහිළුවක් බවට පත්ව තිබේ. කෙසේ වුවද ජාතික කලා භවන අහිමි කිරීම පෞද්ගලික කලා ගැලරි හිමියන්ට මේ වන විට සිතුපැතු සම්පත් දෙන සුරබිදෙනක් බවට පත්ව තිබේ.

2006 වසරේ අලුතින්ම ඉදිකළ නෙළුම් පොකුණ රඟහල 2011 වසරේදී විවෘත කෙරිණි. 2008 ඉදිකිරීම් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2010 විවෘත විය. 2012 ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුලුන 2022 විවෘත විය. සියවසකට එපිට එනම් 1919 වසරෙහි ඉදිකළ 16 වසරකට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමූ ජාතියේ කලා නිකේතනය, ජාතික කලා භවන ජාතියට අහිමි කර ඇත්තේ කාගේ අවශ්‍යතාවක් සැපරීමට ද යන්න විශාල ගැටලුවකි.

මූලාශ්‍ර - Emanisa - එමනිසා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න