Image

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර : වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර : වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්

දිත්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉලක්කගත ගොවීන් පිරිසකට ඩිජිටල් පොහොර වවුචර පිරිනැමීමට තීරණය කර ඇත.

ඉදිරි යල කන්නය නියමිත වේලාවට ආරම්භ කර නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙම පොහොර සහනාධාර වැඩසටහනේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

ඒ අනුව 2025/26 මහ කන්නයේදී සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානියට පත් වීම නිසා පීඩාවට පත් කුඩා පරිමාණ වී ගොවීන් 3489 දෙනෙකුට ඇමෙරිකානු ඩොලර් 300 000ක වටිනාකමකින් යුත් වවුචර මෙමගින් පිරිනැමේ.

ඉලක්කගත කණ්ඩායමේ කාන්තා ගොවීන් 1686 දෙනෙකු සිටින අතර ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම විද්‍යුත් වවුචර ලබා දෙනු ඇත.

අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 75ක (දල වශයෙන් රුපියල් 23625ක) වටිනාකමින් යුත් වවුචර හිමි වේ. එසේම අක්කර 0.5කට වඩා වැඩි සහ අක්කර 1ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 90ක (දලවශයෙන් රුපියල් 28 350ක) වවුචර ලබා දෙනු ඇත.

මෙම වවුචර භාවිත කර යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆෙට්(TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර වර්ග ලබාගත හැකිය.

දිත්වා සුළි කුණාටුවේ බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ගොවීන්ට සහාය වීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ශක්තිමත් සහයෝගිතාව මෙම වැඩසටහන හරහා පෙන්නුම් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවැසීය.

යල කන්නයට පෙර අත්‍යවශ්‍ය පොහොර සඳහා කාලෝචිත ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම හරහා පීඩාවට පත් ගොවීන්ට ඔවුන්ගේ වී නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය හිමිවන බවත් අනුරාධපුරයේ කුඩා පරිමාණ ගොවි ප්‍රජාවන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ද මෙය මහෝපකාරී වන බවත් ඔහු කීය.

අවදානමට ලක් වූ ගොවීන් සඳහා කාලෝචිත කෘෂිකාර්මික ප්‍රතිසාධන සහායේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැවසුවේ මෙවැන්නකි.

“මෙම පොහොර වවුචර වැඩසටහන හරහා ගොවීන්ට ඉක්මනින් තම වගා කටයුතු වෙත යළි යොමු වීමට සහාය වීම අපගේ අරමුණයි. ඊට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාව ශක්තිමත් කිරීමට සහ දේශීය ආහාර සුරක්ෂිතතාවට දායක වීමට ද ත් අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව තුළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙයයි. ගොවීන්ට කාලෝචිත සහ නම්‍යශීලී සහායක් ලැබෙන බව සහතික කිරීම සඳහා අපගේ හදිසි ප්‍රතිචාර මෙවලම් පුළුල් කිරීමක් මෙයින් සලකුණු කරනවා”

පොහොර සහනාධාරයට සමගාමීවල සෑම ප්‍රතිලාභියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද නොමිලේ ලබා දෙන අතර නිෂ්පාදනයේ ප්‍රධාන අදියර පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශ සැපයීම මෙහි අරමුණ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ගිම්හාන් ද සිල්වා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න