Image

අයි.සී.සී ප්‍රමිති රකිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගනවා - ඉරාන් වික්‍රමරත්න

අයි.සී.සී ප්‍රමිති රකිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගනවා - ඉරාන් වික්‍රමරත්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් ආයතනික සංස්කෘතියට විනිවිදභාවය දූෂණයට එරෙහිවීම සහ වෘත්තියභාවය වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිත්වය දැරීමට ජනාධිපතිවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා තමාට ආරාධනා කළ බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමග පැවැත් වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වගකීම බාරගැනීමට තීරණය කළ බව හෙතෙම පවසයි.

නිර්දෝෂී අඛණ්ඩතාවයකින් සහ මනා පළපුරුද්දකින් හෙබි පුද්ගලයින් නව දෙනකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් බව පවසන හෙතෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමට බලාපොරොත්තු වන බව අවධාරණය කරයි.

එම කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය ආයතනික කළමනාකරණය සහ නීතිමය කුසලතා යන අංශවල දුර්ලභ සංකලනයක් නියෝජනය කරන බවත් කමිටුවක් ලෙස සැමගේ එකම සහ අවංක කැපවීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව නැවත ඇතිකිරීම බවත් ඔහු අවධාරණය කරයි.

මූලික කරුණු දෙකක් ඔස්සේ මේ දැක්ම සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන බවත්, එහි දී ප්‍රධාන ප්‍රමුඛතාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීම බවත් ඉරාන් වික්‍රමරත්න වැඩි දුරටත් පැවසී ය. යෝජිත ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම මෙහි මූලික පදනම වන අතර එමගින් ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නවීන පදනමක් නිර්මාණය වන බවට ඔහු සහතික වුණි.

තමා පාසැල් සහ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළ කාලයේත් ඉන් පසුත් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක් වූ බවත් රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම වෙනස් කිරීමට පැවරීම බැරෑරුම් වගකීමක් සේ සලකන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න සහ සාමාජිකයෝ පිරිසක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිහ. එහිදී කාර්යාලයට පිවිසි පිරිස අද දිනයේම වැඩ බාරගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඊයේ පත්කරනු ලැබූ අතර මෙහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම හා දිනාල් පිලිප්ස් කටයුතු කරති. මෙම නව කමිටුව පත්කෙරුණේ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගැනීමෙන් පසුව ය. ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක් ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ගැනෙන්නේ ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ අතුරු පාලක කමිටුව යි.

ගිම්හාන් ද සිල්වා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න