Image

අධිකරණයක විභාග වන නඩුවක තින්දුව ජනාධිපතිවරයා දන්නෙ කොහොමද...? - ජී. එල්. විමසයි

අධිකරණයක විභාග වන නඩුවක තින්දුව ජනාධිපතිවරයා දන්නෙ කොහොමද...? - ජී. එල්. විමසයි

ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ විභාග වන, තවමත් තීන්දුව නැති නඩුවක තීන්දුව පිළිබඳව ජනාධිපතිතුමා ඉගි කරන බවත්, ඒ තීන්දුව කුමක්ද යන්න පිළිබඳ ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තිබෙන බවත්, ඒසේ වන්නේ කෙසේ ද යැයි මහාචාර්ය ජී. ඒල් පීරිස් විමසයි.

ඔහු මේ පිළිබඳ විමසුවේ අද පැවති ඒ්කාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේ දී ය.

එහි දී පළමුව ජනාධිපතිවරයා කළ කතාව ද ඉදිරිපත් කෙරුණි.

ජනාධිපති අනුර කුමාර...

අදත් රාජපක්ෂලා දෙන්නෙක් තුන් දෙනෙකුට වරෙන්තු. අපි කියන්නේ ගමට ඡන්දේ ඉල්ලන්න කලින් එන්න කියන්න, වරෙන්තු කාරයෝ ගෙනත් දෙන්න කියන්න.

විශාලෙටම හොරකම් කරපු කෙනා එන්නේ නෑ අධිකරණයට. එක්කෝ කොන්ද කැඩුණා කියනවා. එක්කෝ පුටුවෙන් වැටුණා කියනවා. එක්කෝ බෙල්ල ගැස්සිලා කියනවා.

මතක තියා ගන්න වරෙන්තු ගන්න.

වරෙන්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ලෝ ලංකාවට ගෙනල්ලා නඩු අහනවා. ඒකයි මේ ජනවරම ලබාදීලා තියෙන්නේ.

ඉතින් ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ. ජනතාව කලබල වෙන්න ඕනද?

නෑ. ජනතාව කලබල වෙන්න ඕන නෑ. ජනතාව ආශිර්වාද කරන්න ඕනා. ජනතාව සහය දෙන්න ඕන. ජනතාව ඔල්වරසන් නගන්න ඕන. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කිව්වා අධිකරණ මදි කියලා.

නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. අධිකරණ මදි...? ඔව්... ඒවත් හදලා දුන්නා.

ඒවා කෙහෙද? හිටපු ඇමතිවරුන්ගේ ගෙවල්වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ, ඇමතිගේ ගෙදර. ඉස්සල්ලා කාපු බීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා.

මේ මැයි මාසයේ විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපානඥයින්ගේ නඩු 15 ක් මේ මැයි මාසෙට විතරක්, සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා 10ක්, අපරාධ චෝදනා නඩු 5 ක් සහිත නඩු 15 ක් මේ මැයි මාසයේ අධිකරණ හමුවේ තියනවා.

අප්‍රේල් 30 ඊයේ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයේ ඇහුවා නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ. එතකොට ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඇයි?

හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි එයා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටිය කලබල වෙලා තියනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩුව වට්ටනවා. හෙට වට්ටනවා. මාසෙන් වට්ටනවා. මැයි 21 වට්ටනවා. අප්‍රේල් වට්ටනවා. කීයක් කිව්වද? දෙසැම්බර් වට්ටනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ?

එහෙම වට්ටන්න බෑ. එහෙම වට්ටන්න ඉඩ දෙනවද? මොකද කියන්නේ?

නෑ. මේ ජනතාවගේ ආණ්ඩුවක්. මතක තබා ගන්න.

අනතුරුව අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්...

''නඩුව ඇහුවා අප්‍රේල් 30 වැනිදා. එතුමා මේ කතාව කරන්නේ මැයි පළවැනිදා. එතකොට කියනවා අප්‍රේල් 30 වැනිදා අහපු නඩුවේ නඩු තීන්දුව අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනවා මැයි 25. ඒ නඩු තීන්දුව ලැබුණාම අත්පුඩි ගහන්න සූදානමින් ඉන්න. ඒ කියන්නේ මේ නඩු තීන්දුව පිළිගන්න පිරි ඉතිරී ගිය සතුටෙන්, අත්පොළසන් නාදයකින් මේ අධිකරණ තීරණය පිළිගන්නයි කියලා ජනාධිපතිතුමා ඒ රැලියේ ප්‍රසිද්ධියේ ජනතාවට කියනවා. දැන් මේ ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ අහන නඩුවක්. තාම තීන්දුව දීලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා අඟවනවා ඒ තීන්දුව මොකක්ද කියන එක ගැන ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තියෙනවා කියලා ඒ නඩු තීන්දුව පිළිබඳව.

අපේ නීතිමය සංස්කෘතිය සම්පූර්ණයෙන් නිෂේධ කර දැමීමක්

අපේ නීති සංස්කෘතිය, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම සම්පූර්ණයෙන් දෙදරන ප්‍රකාශයක් මේක. මම මේක බොහොම කණගාටුවෙන් කියන්නේ දේශපාලනඥයෙක් හැටියට නොවෙයි, මේ රටේ පරම්පරා දෙකකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති අධ්‍යාපනය දුන් ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියට.

මොකක්ද අපේ නීතිය? නඩුවක් අහනවා. දෙපැත්තෙන් ඉදිරිපත් වෙන සාක්ෂි සැලකීමට භාජනය කරනවා. ඉන්පසු විනිශ්චයකාරතුමා ස්වාධීනව තීන්දුව ප්‍රකාශයට පත් කරනවා, නීතියට අනුකූලව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව. එකම මිනුම් දණ්ඩ විනිශ්චයකාරවරයාගේ හෘද සාක්ෂිය. කිසිම පිටස්තර පුද්ගලයෙකු සමග නඩුවක් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිශ්චයකාරයෙකුට ඒ නඩුව ගැන සාකච්ඡා කරන්න බැහැ. තුන්වන පුද්ගලයෙකු තෘප්තියට පත් කිරීම සඳහා, අත්පොළසන් නාද ලබා ගැනීම සඳහා නඩු තීන්දුව සකස් කිරීමේ සම්ප්‍රදායක් ශිෂ්ට ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගෑවිලාවත් නැහැ. අපේ කේන්ද්‍රීය වශයෙන් සලකන අපේ නීතිමය සංස්කෘතිය සම්පූර්ණයෙන් නිෂේධ කර දැමීමක්. දැන් මෙතැන අපි අවම වශයෙන් කියනවා නම් ඒ විනිශ්චයකාරතුමාට කරන දැවැන්ත බලපෑමක්. කවුද මේ බලපෑම කරන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි, මේ රටේ විධායකයේ ප්‍රධානියා. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගෙන් තමයි මේ මැදිහත්වීම එන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වෙනවා

දැන් මේක සාධාරණද? මේක කිසිසේත් පිළිගන්න පුළුවන් දෙයක්ද? ඒ විනිශ්චයකාරතුමා දැන් තාම නඩු තීන්දුව ප්‍රකාශ කරලා නැහැ. ජනාධිපති දන්නවායි කියනවා මොකක්ද කියලා නඩු තීන්දුව. දන්නා නිසානේ මෙතරම් උපරිම සතුටකට පත් වෙන්නේ. තමන් සතුටු වෙනවා විතරක් නෙවෙයි මුළු රටටම කියනවා මේක ප්‍රශංසා කරන්න, අත්පොළසන් නාදයක් දෙන්නයි කියලා. එතකොට ඒ නඩු තීන්දුව දැන් ලැබෙනවා, බලාපොරොත්තු වෙනවා, ඒක අපේක්ෂා කරනවා මෙන්න නඩු තීන්දුව 25 වැනිදා එනවා. එතකොට ඒ විනිශ්චයකාරතුමාට පුළුවන්ද ඒ විදියට මහා බරපතළ මැදිහත්වීමකට මුහුණ දීමට? පෙළඹවීමක්. දැන් මේකෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වෙනවා.

නීතියේ ස්වාධිපත්‍යයට පයින් ගැසීමක්

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ ප්‍රධාන කුලුනක් වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය. ඒකට සම්පූර්ණ පරිච්ඡේදයක් ඇතුළත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන පරිච්ඡේදය. 105 වන වගන්තියේ තුන්වන වගන්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සම්පූර්ණ බලය හා වගකීම පවරලා තිබෙනවා අපේ රටේ සියලු ම විනිශ්චයකාරවරුන්ට පූර්ණ වශයෙන් ලැබෙන ඒ නිදහස සුරක්ෂිත කිරීමට, ඒකට අවශ්‍ය ප්‍රායෝගික පියවර ගැනීමට. මෙවන් තත්ත්වයක් අපේ රටේ කවදාවත් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරකේ නඩු තීන්දුවක් උසාවියේ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා ඒ නඩු තීන්දුව මහත් හරසරින් පිළිගන්න කියලා ජනතාවට ආයාචනයක් කිරීම අසමාන අද්විතීය සිද්ධියක්. නීතියේ ස්වාධිපත්‍යයට පයින් ගැසීමක්. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ගරු අග්‍ර විනිශ්චයකාරතුමාට සන්දේශයක් ඉදිරිපත් කිරීමට.

මේක සම්පූර්ණ ඇස්බැන්දුම් වැඩක්

දැන් මම බොහොම පැහැදිලිව කියනවා අද අපේ රටේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙලා තිබෙන ආයතන බොහොම ටිකයි ඉතිරි වෙලා තියෙන්නේ, ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් ඉතිරි වෙලා තියෙන්නේ. එයින් එකක් තමයි, ප්‍රමුඛ ආයතනයක් තමයි ශ්‍රී ලංකා අධිකරණය. ඒක අපි රැකගන්න ඕනේ. මේ විදියෙ ප්‍රහාරවලින් අපේ විනිශ්චයකාරවරුන් දිවි හිමියෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැත්නම් උසාවියකට ගිහිල්ලා යුක්තිය ලබාගන්න පුළුවන් කියන විශ්වාසය අපේ ජනතාවගේ මනසෙන් සම්පූර්ණයෙන් ගිලිහී යනවා. ඒ තරම් ඛේදවාචකයක් මේ රටට අද ඇති වන්න පුළුවන්කමක් නැහැ. එම නිසා අපි සියලු දෙනාම සාමූහික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නීතියේ ස්වාධිපත්‍යය, විනිශ්චයකාරවරුන්ගේ ගෞරව නාමය, අභිමතය නීතියට හා හෘද සාක්ෂියට අනුකූලව භාවිතා කිරීමේ ඒ නිර්මල අයිතිය වෙනුවෙන් අපි සියලු දෙනාම කිසිම පැකිලීමකින් තොරව පෙනී සිටින බව මේ අවස්ථාවේ දී මම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් මේ අතර ඉතාමත් ශෝචනීය දේවල් රටේ කෙරීගෙන යනවා. ඒ පසුබිම තුළ තමයි මේ අරුම පුදුම ප්‍රකාශය ජනාධිපතිවරයා කරන්නේ. භාණ්ඩාගාරයේ මහා කොල්ලකෑම. ඒක වසන් කිරීමට නොකරන දෙයක් නැහැ. දැන් මේක සම්පූර්ණ ඇස්බැන්දුම් වැඩක්නේ. මේක විමර්ශනයක්ද? කාගේ නායකත්වයෙන්ද, කාගේ අනුග්‍රහය යටතේද මේ විමර්ශනය පවත්වන්නේ? මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ නායකත්වය යටතේ. හර්ෂණ සූර්යපෙරුම මැතිතුමා. එතුමාගේ නායකත්වය යටතේ මේක මෙහෙයවන්න භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරු දෙන්නෙක් පත් කරනවා. ඉස්සෙල්ලා එක්කෙනෙක්, තව ඒකට තව එක්කෙනෙක් එකතු කරනවා. ඊට පස්සේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කරනවා. එක නිලධාරියෙක් අද ජීවතුන් අතර නැහැ. එතන මරණයක් සිදු වෙලා තියෙනවා.

විමර්ශන අවසන් වනතුරු හර්ෂණ ඉල්ලා අස් විය යුතුයි

මම බොහොම පැහැදිලිව මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට කියනවා මේ ඇස්බැන්දුම් වැඩවලින් කවුරුත් රැවටෙන්නේ නැහැ. මේක එක එක්කෙනාගේ පිට උඩින් දාලා, ජීවතුන් අතර හිටියත් නැති වුණත් තමන්ගේ වගකීමෙන් කිසිසේත් මිදෙන්න හැකියාවක් භාණ්ඩාගාර ලේකම්තුමාට අපේ නීතිය, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිසේත් පුළුවන්කමක් නැහැ. මම හර්ෂණ සූර්යප්පෙරුම මහත්මයාට කියනවා අපේ රටේ බලාත්මක නීතියක් වන 2024 අංක 44 දරන මුදල් පරිපාලන නීතිය කියවන්න කියලා. එතුමාට වුණත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක බොහොම සරල භාෂාවෙන් සකස් කරලා තිබෙන නීතියක්. ඒ වගේම මම එතුමාට කියනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වන වගන්තියේ දෙවන උප වගන්තිය කියවලා බලන්න කියලා. මේ අනුව මේ මහා දවල් කොල්ලකෑම පිළිබඳ පූර්ණ වගකීම අයත් වන්නේ වෙන කිසිම කෙනෙකුට නෙවෙයි, එහෙන් මෙහෙන් වැඩ තහනම් කරන නිලධාරීන්ට නෙවෙයි මහා භාණ්ඩාගාර ලේකම්තුමාටයි. එතුමාට පමණයි, වෙන කිසිම කෙනෙකුට නෙවෙයි. එතකොට එතුමා ඒ නිලය දරනතුරු කවුද විශ්වාස කරන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් පවත්වන්න පුළුවන් වෙයි කියලා? ඒක සම්පූර්ණ දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළක්. එම නිසා අවම වශයෙන් - ඒක ප්‍රමාණවත් නැහැ - හැබැයි අවම වශයෙන් මේ විමර්ශන අවසන් වනතුරු එතුමා ඒ ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි, නැත්නම් එතුමාව ඉවත් කළ යුතුයි.

පරීක්ෂණ පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් නැහැ

එතකොට දැන් මේ සියලු දේවල්වලට යම් යම් පූර්ව සූදානම් වීමක් තිබෙනවා. දැන් දින කිහිපයකට පෙර අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා යම්කිසි තර්ජනයක් කළා. ඇමතිවරුන්ට විරුද්ධව පැමිණිලි කරනවා නම් පරිස්සම් වෙන්න, නීතිය බොහොම දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා කියලා. මම කියනවා ඒ අදාළ නීතියේ නිර්මාතෘ හැටියට, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පිළිබඳ 1994 ඒ නීතිය සකස් කළ ඒ කාලයේ හිටපු ආණ්ඩුක්‍රම සම්පාදක ඇමතිවරයා හැටියට මම බොහොම පැහැදිලිව කියනවා, තමන් දන්නා දේ සද්භාවයෙන් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන කිසිම කෙනෙකුට අබමල් රේණුවක අවදානමක් අපේ නීතිය යටතේ නැහැ. පූර්ණ රැකවරණය ලැබෙනවා එවන් පුද්ගලයන්ට සද්භාවයෙන් තමන් දන්නා දේ අනාවරණය කරනවා නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට. කිසි දේකට බය වෙන්න ඕනේ නැහැ ඇත්ත කියනවා නම්. ඒක කරන්න ඕනේ. මේ මහා දැවැන්ත කොල්ලකෑම් පිළිබඳ සත්‍යය දැනගන්න ඕනේ. දැනගෙන ඒවට සම්බන්ධ පුද්ගලයන්ගෙන් කාබාසිනියා කරපු මුදල් මේ ජනතාව ආපහු ලබාගත යුතුයි. තර්ජන ගර්ජනවලට කිසිසේත් යටත් වීමේ අවශ්‍යතාවක් නැහැ. එතකොට මොකක්ද කළ යුත්තේ? මේ අභ්‍යන්තර පරීක්ෂණ, මේ සියල්ලටම නීතිය යටතේ වගකීම අනිවාර්යයෙන් භාරගත යුතු පුද්ගලයාගේ අනුග්‍රහය යටතේ පවත්වන පරීක්ෂණ පිළිබඳ අපිට කිසිම විශ්වාසයක් නැහැ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි සියලු දෙනා ම පෙනී සිටිනවා

ඒක කෙරෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ අනුග්‍රහය හා නායකත්වය යටතේ. මේ රටේ මුදල් පරිපාලනය පිළිබඳ හුදු වගකීම, සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. එතන තමයි මේ විමර්ශනය කළ යුත්තේ. ඒක විවෘත විමර්ශනයක් විය යුතුයි. විනිවිදභාවය අතිශයින් වැදගත් වෙනවා. මාධ්‍යවලට සම්පූර්ණ ආවරණය තිබිය යුතුයි. මේ රටේ හොරකම් සිදු වුණා, මේ පළවෙනි හොරකම නෙවෙයි. හැබැයි කිසිම කාලයක ජනතාව ගේ මුදල්වල භාරකාරයා වන මහා භාණ්ඩාගාරය ; ඒක මහා පවුරක්. අපේ රටේ ජනතාවගේ මූල්‍ය සම්පත් ආරක්ෂා කරන මහා පවුර, ඒ මහා පවුර බිඳ දමන්න මෙතෙක් දුරට කාටවත් පුළුවන් වුණේ නැහැ. මේ කියන්නෙ අපේ ජනතාවට, ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, සූර්යප්පෙරුම මහත්මයාට නෙවෙයි මේ රටේ ජනතාවට වෙච්ච අලාභය දළ වශයෙන් රුපියල් 8000 ඉක්මවනවා. තෙල් මිල වැඩි කරනවා. මැයි දිනය ඉවර වෙලා පැය 24ක් ගත වුණේ නැහැ ආයෙත් තෙල් මිල වැඩි කරනවා. මේවා කරන්න අවශ්‍ය ද මහජනතාවගේ මූල්‍ය සම්පත් වෙන තැනක නෙවෙයි මහා භාණ්ඩාගාරය තුළවත් රැකගන්න පුළුවන් නම්? දැන් මේ ප්‍රමාණයටවත් ජනතාවගේ මුදල් රැක ගැනීමට පුළුවන් වුණේ මේ රටේ මාධ්‍ය එඩිතරව කටයුතු කරපු නිසායි, ඔය තර්ජන ගර්ජන මධ්‍යයේ. එවැනි නිසා මාධ්‍යයට අපි ශක්තිය දෙන්න ඕනේ, ඒක රැකගන්න ඕනේ. මාධ්‍යවල වරප්‍රසාද නෙවෙයි, මේ ජනතාවගේ මුදල් රැක ගැනීම සඳහා මාධ්‍යයට තිබෙන ඒ කාර්යභාරය නිසි පරිදි, බයක් නැතිව ඉටු කිරීමට පුළුවන් පරිසරයක් වාතාවරණයක් සකස් කර දීම සඳහා තමයි මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි සියලු දෙනාම ඒකාබද්ධ විපක්ෂය හැටියට දිවිහිමියෙන් පෙනී සිටින්නේ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න