Image

ලංකාවේ උසම ගමට යන එකම මාර්ගය පණ බියෙන් යා යුතු කසළ විමානයක්

ලංකාවේ උසම ගමට යන එකම මාර්ගය පණ බියෙන් යා යුතු කසළ විමානයක්

අගෝඩා ලෝක සංචාරක සිතියමට මෑතක දී එකතු වූ ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිතම සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ලංකාවේ උසම ජනාවාසය හැටියට සැලකෙන මුහුදු මට්ටමින් අඩි 7360ක් උසින් පිහිටි ශාන්තිපුර ගම්මානයට පිවිසෙන එකම මාර්ගය පසුගිය දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්ත්වයක සහ මාර්ගය දෙපස කසළ එක් රැස්වී අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරු සංගම් චෝදනා කරති.

ප්‍රදේශවාසීන් මේ බව කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ශාන්තිපුර ගම්මානයට ප්‍රවිෂ්ට වෙන මාර්ගය පිළිබඳව වගකිවයුතු බලධාරීන් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකරන පසුබිමක මාධ්‍යය අරහා අවධාරණය කිරීම පිණිස අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිපුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් සංචාරක මඟ පෙන්වන්නන් සහ රියදුරු සංගම් නියෝජිතයන් මෙසේ පැවසූහ.

නගරාධිපතිවරයා උදේ හවස යන්නෙත් මේ පාරෙන්

''දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමකින් මාර්ගය දැඩි ලෙස අවදානම් තත්ත්වයක තිබෙන පසුබිමක නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු උදේ හවස මෙම මාර්ගයේ ගමන් කරලත් මේ අවදානම ගැන කිසිම තැකීමක් නැහැ.''

''අපිට පුදුම ගැටළුවක් තියෙන්නේ මේ නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යන්නේ ඇස් වහගෙන ද ? නැත්තං ගැන නිල රථයේ නිදාගෙන ද?''

''මෙම මාර්ගය පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වන අතර පසුගිය කාලවලදී නුවරඑළිය මහ නගර සභාව සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාව එක්ව සංවර්ධන යෝජනා ඉදිරිපත් කර සාර්ථක අන්දමින් නඩත්තු කටයුතු සිදු කරගෙන ගිය නමුත් මේ වන විට නුවරඑළිය මහ නගර සභාව හා ප්‍රාදේශිය සභාව මෙම මාර්ගය පිළිබඳ තැකීමට ලක් නොකිරීම කනගාටුවට කරුණක්.''

ශාන්තිපුර ගම්මාන කියන්නෙ ශ්‍රී ලංකාවේ උසම ජනාවාසය පිහිටි ස්ථානය

''නුවරඑළිය කියන්නේ සංචාරක ආකර්ශනීය දිනාගත් ලෝක සංචාරක මර්මස්ථානයක් බවට පත්වෙලා තිබෙන ස්ථානයක්. මෑතකදී පවා අගෝඩා ලෝක සංචාරක සිතියම් පොතට එකතු වුණු සුවිශේෂි තැනක් තමයි නුවරඑළිය කියලා කියන්නේ. නුවරඑළිය එවන් තැනකට එකතු වෙන්න මූලිකව ආකර්ෂණය දිනාගත් තැනක් තමයි නුවරඑළිය ශාන්තිපුර ගම්මානය කියලා කියන්නේ. ශාන්තිපුර ගම්මාන යනු ශ්‍රී ලංකාවේ උසම ජනාවාසය සහ ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ගම්මානයක්. මෙහි සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත තවත් සුවිශේෂ ස්ථානයක් තමයි ඊගල් නැරඹූම් මධ්‍යස්ථානය. මෙම ඊගල් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, හග්ගල, ශ්‍රී පදස්ථානයය ඇතුළු ස්ථාන රැසක් ඉහළ අවකාශයේ සිට නැරඹීම සඳහා දෛනිකව දහස් සංඛ්‍යාත ජනතාවද පැමිණෙන්නේ ඉතා බියකරු මාර්ගයක. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉහළම ස්ථානයේ පිහිටි සර්ව ආගමික දේවස්ථාන තේ කර්මාන්ත ශාලාව බීජ අර්තාපල් ගොවිපොළ ඇතුළු ස්ථාන රැසක් නරඹන්නට දෙස් විදෙස් සංචාරකයක් පැමිණෙනවා.''

ජීවිත හානි පවා සිදුවන්නට ඉඩ තියෙන මාර්ගයක්

''නාය යෑමට ලක් වූ මාර්ගය යට පැත්තෙන් පෙඟිලා තියෙන්නේ. දිනකට දෙස් විදෙස් සංචාරකයන්  දහස් ගණනින් අරන් එන බස් රථ වල පැමිණෙන රියදුරන් මාර්ගය ගැන අවබෝධයක් නැතුව එන්නේ. ඔවුන්ට මාර්ගයේ ගිලා බැස තිබෙන ස්ථානයෙන් වංගුව හරවා ගන්න බැරිවන විට දැඩි අපහසුතාවයට පත් වෙනවා. බියක් ඇතිවූ විට විශාල අනතුරක් සිදුවී ජීවිත හානි පවා සිදුවන්නට ඉඩ තියෙන මාර්ගයක් තමයි මේක.''

කැළිකසළ මාර්ගය පුරා...

''තාම නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා මාර්ගය පුළුල් කරන්න කිසිම වැඩ පිළිවෙලක් නුවරඑළිය මහ නගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අරන් නැහැ. මාර්ගයේ ගැටලුව එලෙස තිබිය දී මහ නගර සභා සීමාවට අයත් ජනතාව සහ ප්‍රාදේශීය සභා සීමාවට අයත් ජනතාව සිය නිවෙස්වලින් බැහැර කරන කැළිකසළත් ගෙනැවිත් දමන්නේ මාර්ගයේ දෙපසට. මෙහි දී කැළිකසළ මාර්ගය දෙපසට බැහැර කරන ජනතාවට චෝදනා කරනවා වගේම නිසි අන්දමින් කැලිකසළ එකතු කරන්න ලොරි රථ යෙදවීමට නුවරඑළිය මහනගර සභාව සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාව  සැලසුමකින් ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතුව වෙනවා. ඒවගේම තමයි ශාන්තිපුර ගම්මානයටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඔවුන් ගේ කැළිකසල බැහැර කිරීමට නිසි ස්ථාන ලබාදී නෑ. මාර්ගයේ කැළිකසළ ඉවත් කර මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනු ලබන්නේ ගමේ රියදුරු සංගම් සහ සුභ සාදක සංගම් එකතු වී නමුත් ඒ අවස්ථාවලටද පළාත් පාලන ආයතන වල කිසිදු සහයෝගයක් ලබා නොදීමද කණගාටුවට කරුණක්.''

මේ සියල්ල අවධානයට යොමු කර පවුල් 1600කට ආසන්න පිරිසක් සහ පුද්ගලයන් වශයෙන් ගත් කළා දස දහසකටත් ආසන්න පිරිසක් ජීවත් වන වගේම දිනකට දහස් ගණනින් සංචාරකයන් පරිහරණය කරන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ග්‍රාමීය කසළ කළමනාකරණය සඳහා නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සහ ප්‍රාදේශී සභාව කටයුතු කළ යුතු බව ප්‍රදේශවාසීන් රියදුරු සංගම් සාමාජිකයන් හා සංචාරක කර්මාන්තයේ නියැළී සිටින්නන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙලෙස නගන චෝදනා පිළිබඳව නුවරඑළියේ මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර ගේ අපට පිළිතුරක් ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇති නමුත් ඔහු මාධ්‍යය වෙත පවසා ඇත්තේ  සිය පක්ෂ මූලස්ථානයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට තමන්ට තහනමක් පනවා ඇති බවත් එම තහනම ඉවත් කළ පසු මාධ්‍යය වෙත නැවත දැනුම් දෙන බවය.

ශාන්තිපුර ගම්මානයේ මාර්ගය පිළිසකර කිරීම හා කසල කළමනාකරණය පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මොහොමඩ් සියාඩ් මහතාගෙන් අප සිදු කළ විමසමකට ඔහු කියාා සිටියේ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සිදුකරගෙන යන නමුත් හදිසියේ ඇති වූ මිල ගණන්වල වෙනස්වීම හේතුවෙන් මඳක් ප්‍රමාද වන බවය.

කෙසේ වෙතත් කඩිනමින් එම මාර්ග සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම කසල කළමනාකාරීත්වය පිළිබඳව නුවරඑළි ප්‍රාදේශීය සභාව අවධානයෙන් කටයුතු කරන අතර නුවරඑළිය මහ නගර සභාව සමගද සාකච්ඡා කර ඒ සඳහා අවැසි පිළියක් යොදන බව ද ඔහුු වැඩිදුරටත් පැවසී ය.

නාලක රත්නායක - නුවරඑළිය

WhatsApp Image 2026 05 05 at 1.23.03 PMWhatsApp Image 2026 05 05 at 1.22.53 PMWhatsApp Image 2026 05 05 at 1.22.45 PMWhatsApp Image 2026 05 05 at 1.23.05 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න