අනුර දිසානායක ජනාධිපතිවරයා කතා කරන්නේ හිතලු මත පදනම් වී වුව ද තමන් කතා කරන්නේ සාක්ෂි මත පදනම් වී යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ “මහජන හඩ” සංවිධානයේ පක්ෂ නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ අද (06) මාධ්‍ය හමුව සමග එක් වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩු දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
මට අපහාස කරන්න එපා
ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා, අර මැරුණා ද, මැරුවා ද කියන සැකයට භාජනය වී ඇති රංග රාජපක්ෂ මහතා ගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳට සැකයක් පවතින බවට මා කළ ප්‍රකාශය වැරදියි කියලා. එතනින් නතර වෙන්නේ නැතුව එතුමා කියනවා කුලියාපිටිය පොලිසියට මාව ගෙනල්ලා ප්‍රකාශයක් ලබා ගන්නටත්, කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට මාව ඉදිරිපත් කරන්නටත් පොලිසිය කටයුතු කරනවා කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හිතන්න ඇති මමත් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ කියලා. අනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ජනාධිපතිතුමා ගේ මට්ටමෙන් මාව මැනලා මට අපහාස කරන්න එපා කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මොකක්ද අපි දෙන්නා අතර තියෙන වෙනස? අනුර දිසානායක ජනාධිපතිතුමා කතා කරන්නේ හිතලු මත පදනම් වෙලා. අපි කතා කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා.
රංග නිශාන්ත රාජපක්ෂ ගේ මරණය සැක සහිතයි
ජනාධිපතිතුමා 2012 දෙසැම්බර් 12 වැනිදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගේ නමට ගෙනාපු ලැම්බෝගිනි 19ක් නැවෙන් බානවා දැක්කා වගේ, රාජපක්ෂවරු උගන්ඩාවේ සල්ලි හොරකම් කරලා සඟවා තබනවා දැක්කා වගේ, මහජන මුදලින් චිචී රොකට් යවනවා දැක්කා වගේ, චීන සමාගම් මහින්ද මහත්තයට දුන්න පගාවේ චෙක්පත් අංකය දැනන් හිටියා වගේ හිතලු මත පදනම් වෙලා අපි ප්‍රකාශ කරලා නැහැ. අපි ප්‍රකාශයක් කරනවා නම් ඒක කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා. එහෙනම් මොකක්ද මගේ අර ප්‍රකාශයට මූලාශ්‍රය? මෙන්න මූලාශ්‍රය. 2026 මැයි පළවෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග රාජපක්ෂ මහතා ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ගේ දැනුම් දීම මත සිව් පුද්ගල පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව පත් කරන ලිපියේ දෙවන ඡේදයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යැවූ ලිපියක්. මම අවශ්‍ය ප්‍රමාණයට කියන්නම්.
"It has been reported that Nishshanka Arachchilage Seelawathi, a resident of Pahalawirabhuwa, Kuliyapitiya, within the Kuliyapitiya Police Division, has informed that her husband Abeysinghe Arachchilage Ranga Nishantha Rajapaksa died under suspicious circumstances on 30th April 2026."
අපි මේක තේරෙන සිංහලට පෙරළගත්තොත් මොකක්ද මේ කියන්නේ? කුලියාපිටිය පොලිස් කොට්ඨාසය පිහිටි කුලියාපිටිය වීරබුව පදිංචි නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී තම සැමියා වන අබේසිංහ ආරච්චිලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 2026 අප්‍රේල් 30 දින සැක කටයුතු ආකාරයෙන් මිය ගොස් ඇති බව දැනුම් දී ඇත.
මේ කතාවේ ඇත්ත නැත්ත දැනගැනීමට නම්...
එතකොට එහෙම නම් රංග රාජපක්ෂ මහතා ගේ මරණය සැක සහිත බවට බිරිඳ විසින් දැනුම් දී ඇත කියලා කියන්නේ උදය ගම්මන්පිල වන මම නෙවෙයි, රටේ ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එතුමා කියන්නෙත් නිකන් තැනක නෙවෙයි, පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න පත් කරන කමිටුවට ලබා දෙන පත්වීම් ලිපියේ. එතකොට අපි කතා කළේ අන්න ඒ ලිපිය සාක්ෂියක් ලෙස පදනම් කරගෙන මිසක් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ හිතලු මත නෙවෙයි. ඇත්තටම මේ ලිපියේ නැති එකම එක වචනයක් මගේ මාධ්‍ය හමුවේදී කියවිලා තියෙනවා. ඒ තමයි ඒ දැනුම්දීම කළේ පොලිසියට කියලා. මොකද පොලිස් කොට්ඨාසයක් ඇතුළේ තමයි ඇයගේ ලිපිනය සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මරණයක් සැකයි නම් මම දන්නා තරමින් නම් ඒක පන්සලටවත්, පාසලටවත්, රෝහලටවත් නෙවෙයි දැනුම් දෙන්නේ, මරණය අපිට සැකයි කියන්නේ පොලිසියට තමයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මම අසත්‍ය ප්‍රකාශයක් කළා කියන විට, ඒ මාධ්‍ය හමුවේ එතුමා ගේ දකුණු පැත්තේ වාඩි වෙලා හිටියේ ඔය ලිපිය ලියපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මගේ මාධ්‍ය හමුවේ පදනම වුණේ පශ්චාත් මරණ පරීක්ෂණය නම්, මාධ්‍ය ප්‍රකාශකතුමා කතා කරන්න කලින් දකුණු පැත්තේ හිටපු එක්කෙනාගෙන් ඇහුවා නම් මේ කතාවේ ඇත්ත නැත්ත එතුමාට දැනගන්න හැකියාව තිබුණා.
මාව හිරේ දානවා කියන්නේ නවවැනි වතාවට
ඒ වගේම එතුමා කිව්වා ආකාරයෙන්ම කුලියාපිටිය පොලිසියෙන් මැයි මාසේ 09 වෙනිදා උදෑසන 10 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින්න කියලා මට දැනුම් දීමක් කරලා තියෙනවා. අපි සතු සාක්ෂිත් අරගෙන කුලියාපිටිය පොලිසිය බලා ලබන සෙනසුරාදා යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මා මිත්‍ර නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමා සුපුරුදු පරිදි ප්‍රකාශ කරලා තියෙනවා මට විරුද්ධව නඩු දානවා කියලා. මේ ආණ්ඩුව මාව හිරේ දානවා කියන්නේ ඔය නවවැනි වතාවට. ඔබතුමන්ලාට මතක ඇති. කලින් අට වතාවෙම අපේ රටේ ගරු අධිකරණයේ ස්වාධීනත්වය නිසා අපිට බේරෙන්න පුළුවන් වුණා. හැබැයි අපිට නඩු දානවා කියන්නේ හොරකම් කළ නිසා නෙවෙයි, මැරකම් කළ නිසා නෙවෙයි, සල්ලාලකම් කළ නිසා නෙවෙයි, ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්න අහන නිසා. ඒ නිසා එවැනි සටනක් මේ ආණ්ඩුවට එරෙහිව කරලා හිරේ වැටෙන්න වෙනවා නම් අපි ආඩම්බරයෙන් ජනතාව ගේ සටන්කාමීත්වය උද්දීපනය වන ආකාරයෙන් අපි ලෑස්තියි ඒකට මුහුණ දෙන්න.
මාව හිරේ දාන තුරු රෑට නින්ද යන්නේ නැතුව ඇති
ඒ වගේම දැන් ඔය අට වතාව ම හිරේ දාන්න හදලා බැරි වුණානේ. ඒ නිසා මාලිමාවේ නායකයන්ට පුදුම ආසාවක් තියෙනවා මාව හිරේ දාන්න. සමහර විට මාව හිරේ දාන තුරු රෑට නින්ද යන්නේ නැතුව ඇති. ඒක තමයි හැමදාමත් පදනම් විරහිත බොරු නඩු අරගෙන එන්නේ. ඉතින් මාලිමාවේ නායකයෝ නිදි මරනවා කියන එක රටට අවදානමක්. එතකොට සිහිකල්පනාව අඩු වෙනවනේ නිදි මැරුවම. එතකොටනේ පිස්සු නටන්නේ. ඒ නිසා එතුමන්ලාගේ ශරීර සෞඛ්‍යය ජාතික අනාගතයට තීරණාත්මක බැවින් ඔවුන්ට රෑට හොඳට නින්ද යනවා නම් රක්ෂිත බන්ධනාගාරයේ කෙටි කාලයක් ඉඳලා එන්න අපි සූදානම්.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
