Image

මෙතෙක් වැට් බද්දට හසු නොවුණ පුද්ගලයින් බදු දැලට

මෙතෙක් වැට් බද්දට හසු නොවුණ පුද්ගලයින් බදු දැලට

මෙතෙක් වැට් බද්දට හසු නොවුණ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් බදු දැලට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සායක නිරතවන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (06) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා...

 සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සියලු දෙනා ම බදු දැලට

‘‘වැට් බද්දට යටත්වන මිලියන 60 සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් වැට් බද්දට හසු නොවුණ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් බදු දැලට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සායක නිරත වෙනවා. ඒ අනුව දිනක ආදායම රුපියල් ලක්ෂයක් උපයන සියලුම දෙනා මෙම බද්ධට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරනවා. ඒ අනුව බදු පදනම වැඩි කර ගැනීමට රජය උත්සහ කරනවා. මෙතෙක් කාලයක් බද්දට හසු නොවුණ පිරිස් බද්දට හසු කර ගැනීමට ආණ්ඩුව උත්සහ කරනු ලබනවා. දිනක ආදායම ලක්ෂයක් උපයන ව්‍යාපාරිකයන්ට වැට් බද්ද ගෙවන්න සිදුවෙනවා.  සුළු ව්‍යාපාරිකයන්ට ආදයම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියට අනුගත වීමට සිදුවෙනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සියලු දෙනාම මෙම බදු දැලට හසු වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව සුළු ව්‍යාපාරවලට අතිරේක පිරිවැයක් බදු සංශෝධනය හරහා උපයා ගැනීමට සිදුවෙනවා.

භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා

රටේ බදු පදනම පුළුල් කර ගැනීමට රටක් ලෙස කටයුතු කළ යුතුයි. නමුත් 2022 සිදුවුණ ආර්ථික බංකොලොත්භාවය හේතුවෙන් පීඩාවට පත්වුණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සංවේදිව බලන්න ආණ්ඩුවට තිබුණා. කෙසේ නමුත් රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැති බව ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය හරහා සනාථ වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. ආර්ථික අර්බුදය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉතාමත් අසිරුවෙනුයි කටයුතු සිදුකරන්නේ. සුළු ව්‍යාපාර කරන පුද්ගලයින් වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වුණොත් ආණ්ඩුව වැඩි කරන වැට් බද්ද ගෙවන්න සිදුවන්නේ රටේ සාමාන්‍ය මහජනතාවට. ඒ අනුව භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. 

වැට් බද්ද අනිවාර්යෙන් සියයට 2.5 කින් වැඩිවෙනවා

මුල්‍ය සේවා මත පැනවූ සියයට 18 ක බද්ද සියයට 2.5 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මුල්‍ය සේවා මත පැනවූ බද්ද 20. 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. න්‍යයාත්මක සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් තිබුණාට එය ප්‍රායෝගිකව වාණිජ බැංකු අය කරගත්තෙ නැහැ. කෙසේ නමුත් සියයට 2.5 කින් වැට් බද්ද අනිවාර්යෙන් වැඩිවෙනවා. මුල්‍ය සේවා ගාස්තුව සියයට 20.5 දක්වා ඉහළ යෑම හරහා අර්බුද ගණනාවක් මතුවෙනවා. මුල්‍ය සේවා ලබාගන්නා සියලු ම දෙනා මත සියයට 20.5 ක බද්දක් අය කරනු ලබනවා. ඒ අනුව ජනතාව ගේ වියදම් තව තවත් වැඩි වෙනවා.  මුල්‍ය සේවා යනු ආර්ථිකයේ යටිතල පහසුකමක්. මුල්‍ය සේවාවල වියදම් අඩුවෙන් තබා ගැනීමෙනුයි රටට ආයෝජකයකින් පැමිණෙන්නේ. මුල්‍ය සේවාවල වියදම් වැඩිවුණොත් රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මුල්‍ය වියදම් වැඩි රටවලට ආයෝජකයෝ පැමිණෙන්නේ නැහැ.

ඩිජිටල් ආර්ථිකය සඳහා සේවා සපයන පිරිසට සියයට 18 ක අලුත් වැට් බද්දක්

ඩිජිටල් ආර්ථිකය තුළ නිදහසේ සේවා සපයන තරුණ තරුණියන් රැසක් ශ්‍රී ලංකාවේ සිටිනවා. කෙසේ නමුත් ඔවුන් මත පනවා තිබෙන බදු අනුපාතය බින්දුවක් බව ආණ්ඩුවට තර්කයක් ගෙන ඒමට හැකියාව තිබෙනවා. වැට් බද්ද බින්දුවයි නම් එය ධන වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය තුළ නිදහසේ සේවා සපයන තරුණ තරුණියන් මත වැට් බද්දක් අය වෙන්නේ නැහැ. නමුත් මොවුන් සේවා සපයා ගන්නේ නිර්නේවාසිකයින් ගේ යටිතල පහසුකම් මගින්. කෙසේ නමුත්  ඩිජිටල් ආර්ථිකය සඳහා සේවා සපයන පිරිසට සියයට 18 ක අලුත් වැට් බද්ද පැනවෙනවා. දේශිය තරුණ තරුණියන් මත සියයට 18 ක බද්දක් අය නොකළාට ඔවුන් සේවා ලබාගන්නා ඩිජිටල් ආර්ථිකයේ යටිතල පහසුක්ම මත පිරිවැය වැඩි වී තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ කඩාවැටිමක් සිදුවෙන්න ඉඩකඩ තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා රටේ තරුණ තරුණියන්ගේ ඩිජිටල් ආර්ථිකයේ සාපෙක්ෂ වාසිය නැති කර තිබෙනවා.  ඒ වාසිය ඉන්දියාව , පකිස්ථානය , වියට්නාමය යනාදි රටවලට ලබාදෙනවා.

ආණ්ඩුව ජනතාව ගේ බලාපොරොත්තු බිඳලා

සියයට 2.5 කින් වැට් බද්ද වැඩි කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළ නිසා බව ආණ්ඩුවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකියි. බදු අනුපාතික වැඩි කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ. ඒ අනුව ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත් වඩා දරුණු ලෙස ජනතාව මත අධික බදු පනවන්න කටයුතු කර තිබෙනවා.  අධික බදු බර හේතුවෙන් වෘත්තිකයන් රට හැර යනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වනතුරු ගන්න කටයුතු කරලා නැහැ. ආණ්ඩුව ජනතාව සමග ඇති කරගත් සමාජ සම්මුතිය කඩා බිඳ දමා තිබෙනවා. ජනතාව ගේ බලාපොරොත්තු බිඳ දමා තිබෙනවා. එවැනි ආණ්ඩුවල ගමන කෙටිකාලිනයි.

රැකියා ප්‍රශ්නය වැඩි වන බවට ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

විශේෂයෙන්ම 2.5 ක වැට් බද්ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණොත් දකුණු ආසියාවේ මුල්‍ය සේවාවලට වැඩිම බදු අනුපාතයක් අය කරන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.  ආසියාවේ සහ බටහිර ආසියාවේ සියලු ම රටවල්වලට වඩා මුල්‍ය සේවා සඳහා අධික බද්දක් අය කරන්නේ ශ්‍රී ලංකාවයි. කෙසේ නමුත් ආණ්ඩුව බදු වැඩිකරලා පොහොසත් රටක් බවට පත් වෙන්න උත්සහ කරනවා. කෙසේ නමුත් පොහොසත් රටවලටත් වඩා වැඩි බද්දක් ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා.  ආණ්ඩුවේ මෙම බදු වැඩි කිරීම හරහා ජනජිවිතයට අවශ්‍ය සියලු ම දේවල්වල මිල ඉහළ යනවා. ඒ අනුව ජන ජිවිතයේ තිබෙන ගුණාත්මකභාවය අඩුවෙනවා. ඒ වගේම දුප්පතුන් වැඩිවන බවට , උද්දමනය වැඩි වන බවට , ඇති නැති පරතරය වැඩි වන බවට, රැකියා ප්‍රශ්නය වැඩි වන බවට ලෝක බැංකුවත් අනතුරු අඟවා තිබෙනවා.  මේ අනතුර කල් තියා දැනුම් දෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නැවත වතාවක් ආණ්ඩුව සිතා බලයි කියා සමගි ජනබලවේගය විශ්වාස කරනු ලබනවා.

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වතා රැසක්

ආණඩුවට උපදෙස් දෙන ආර්ථික විද්‍යාඥයින් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වතා රැසක් තිබෙනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් තිබෙන කිසිදු පුද්ගලයෙක් ආණ්ඩුව තුළ නැති බවයි පෙනී යන්නේ. ආණ්ඩුවේ සිටින්නේ කළු කඩ මුදලාලිලා. ඒ වගේම අනුර දිසානායක මහතාට උපදසේ ලබා දෙන්නේ ගෝඨාභය හිටපු ජනාධිපතිපතිට උපදෙස් දුන්න පිරිසම ද කියා ප්‍රශ්නයක් මතුවෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න