මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදහන් වීම් සහ මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් අභිරහස් ලෙස මියයාම පිළිබඳව රජය වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමගි ජනබලවේගය අවධාරණය කරයි.
අද (08) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි
"මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට රජය පියවර ගත්තා. නමුත් මේ පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ රංග නිශාන්ත රාජපක්ෂ යන නිලධාරියා මේ වන විට මියගොස් තිබෙනවා. මෙය සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න තවම තහවුරු වී නැහැ. භාණ්ඩාගාර වංචාව යට ගැසීම සඳහා මෙම නිලධාරියාව ඝාතනය කළාද යන බරපතළ සැකය අපට මතු වෙනවා."
සාක්ෂිකරුවන් රැකගැනීම රජයේ වගකීමක්
ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
"කපිල චන්ද්‍රසේන කියන්නේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සාක්ෂිකරු. ඔහුත් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. මේවා සියදිවි නසා ගැනීම්ද නැතිනම් සියදිවි නසාගන්නා මුවාවෙන් සිදුකරන මිනීමැරුම්ද යන්න ප්‍රශ්නයක්. ඉදිරියේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජය පවසනවා. එවැනි පසුබිමක චුදිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීමට රජය වහාම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි."
නඩු තීන්දු ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දින වකවානු ප්‍රකාශ කිරීම හරහා අධිකරණ ක්‍රියාවලියට දේශපාලන බලපෑම් එල්ල වේ යැයි සාධාරණ බියක් පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. චෝදනා ලැබූවන්ට සාධාරණයක් ඉටු නොවන බව හැඟීයාම නිසා ඔවුන් මෙවැනි තීරණ කරා යොමු වන්නේද යන්න විමර්ශනය කළ යුතු බවද ඔහු පැවසීය.
ආණ්ඩුවට එල්ල වන දූෂණ චෝදනා යටපත් කිරීමට මෙවැනි මරණ සිදුවන්නේද යන්න පිළිබඳව රට තුළ සැකයක් නිර්මාණය වී ඇති බැවින්, දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ගැන රජයට අවංක උවමනාවක් ඇත්නම් වහාම මෙම මරණ පිළිබඳ සර්ව සාධාරණ පරීක්ෂණයක් පවත්වා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
