ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර ගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කිරීමට යෙදුණ "නීල නුවන්" දේවානන්ද වෛද්‍යසේකර ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකොන් මැදිරියේ දී පැවැත්විණි.
ප්‍රසංගයේ මිහිර විදින්නට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දේවානන්ද වෛද්‍යසේකර කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගයා ගෞරව හරසර ප්‍රණාම පුද කරමින් සමරු ඵලක ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතූළු සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මෙහි දී සිදු කෙරිණි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ විද්වතුන් රැසක් දේවානන්ද වෛද්‍යසේකර මෙරට කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර මෙහි දී ඇගයීමට ලක් කරනු ලැබූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කලා සේම ගීතය නැමැති ඖෂධයෙන් ද පරම්පරා ගණනාවක රසික ජනතා හදවත් සුවපත් කරමින් කළ මෙහෙවර මෙම අවස්ථාවේ ඇගයීමට ලක් කරන බවයි. මෙවැනි කලාකරුවන් ජාතික සම්පත් බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපතිතුමා ගේ මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මෙවැනි ආකාරයෙන් උපහාරයට ලක්කිරීමට මේ වන විට වැඩසටහන් සම්පාදනය කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙහි දී අවධාරණය කර සිටියේ ය.
ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ ආචාර්ය නන්දා මාලනිය නමින් මැදිරියක් නම් කළ අතර ම ජායාරූපයක් විවෘත කළ බවත්, ආචාර්ය වික්ටර් රත්නායක නමිනුත් එම ආකාරයෙන් ම කටයුතු සිදුකළ බවත්, එම කටයුතු කෙරෙන අතරේ දේවානන්ද වෛද්‍යසේකර අද දින උපහාරයට ලක් කෙරෙන බව ද පැවසීය.
වෛද්‍යසේකර කෙනෙක් වෛද්‍යවරයෙක් වීම පුදුමය දනවන්නක් නොවුනත්, වෛද්‍යසේකර කෙනෙක් මහා සංගීතඥයෙක් වීම විමතියට පත්වන්නක් බවත්, එම විමතිය අද දකින බව ද සඳහන්කර සිටියේය.
"නීල නුවන් මානෙල් මල්", "සතුට විලයි සැපත මලයි" යනාදි අමරණීය ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනාගත් වෛද්‍යසේකර, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි.
එතුමා, මෙරට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු ලෙස සැලකෙන අතර, දේශීය සංගීත ක්ෂේත්‍රයට ඉටු කළ අමිල මෙහෙවර වෙනුවෙන් හෙතෙම මීට පෙර "සංගීතාභිමානී" රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
ඔහු ගේ සුවදුක් විමසීම මෙන්ම කලාකරුවකු ලෙස ඉටුකළ මෙහෙවර අගය කිරීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණ වේ.
මෙහී දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත "සියවසක සිහනඳ" ග්‍රන්ථය ජනගත කිරීම කිරීම ද ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර අතින් සිදු කළ අතර, එම ග්‍රන්ථයේ පිටපතක් දේවානන්ද වෛද්‍යසේකර මහතාට ද පිළිගැන්විණි.
මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයින් ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ද එක්ව සිටි අතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) වත්මන් සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර ඇතුළු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිලක, ජානක වික්‍රමසිංහ, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
