රටක ජාතික ආරක්ෂාවට හා සමානවම ආර්ථික සුරක්ෂිතතාව (Economic Security) වැදගත් බවත්, වර්තමානයේ එය බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆයිසර් මුස්තාපා...
මේක ත්‍රස්තවාදයටත් වඩා භයානකයි
බැංකු පද්ධතිය සහ භාණ්ඩාගාරය සුරක්ෂිත නොමැති නම් විදේශීය ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කරගත නොහැකි බව මුස්තෆා මහතා පෙන්වා දුන්නේ ය. බැංකු අධීක්ෂණය සඳහා මහ බැංකුව මසකට රුපියල් මිලියන 50 සිට 100 දක්වා මුදලක් අය කළද, බැංකු පද්ධතියේ සහ මූල්‍ය හුවමාරුවල පවතින බරපතළ දුර්වලතා හේතුවෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනැගී ඇති බව ඔහු පැවසී ය. මෙම තත්ත්වය ත්‍රස්තවාදයටත් වඩා බරපතළ ව්‍යසනයක් විය හැකි බැවින්, මේ පිළිබඳව සොයා බැලීමට වහාම විශේෂ කාර්ය සාධක බලකායක් (Special Task Force) පත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
හදිසි නීතිය සහ මර්දන බිය
රජය හදිසි නීතිය මර්දනය සඳහා භාවිතා නොකරන බව පැවසුවද, හදිසි නීති රෙගුලාසි මගින් සාමාන්‍ය නීතිය අත්හිටුවීම හරහා ජනතාව තුළ නිරන්තර බියක් නිර්මාණය වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ස්වභාවික ව්‍යසනයකින් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමට හදිසි නීතිය අවශ්‍ය නොවන බවත්, රටේ සාමාන්‍ය නීති පද්ධතිය සහ රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි විශේෂ නීති අනවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
වගවීම සහ ජපානයේ ආදර්ශය
උසස් තනතුරු දරන නිලධාරීන් සහ අමාත්‍යවරුන් තම වගකීම් පැහැර හැරීම පිළිබඳව ඔහු දැඩි විවේචනයක් එල්ල කළේ ය. ජපානයේ දුම්රියක් විනාඩියක් ප්‍රමාද වුවහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වන බව උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, අදාළ නිලධාරීන් පෞද්ගලිකව දූෂිත නොවූවත් තමන් භාරයේ පවතින ආයතනවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට ඔවුන් බැඳී සිටින බවයි.
"75 වසරේ සාපය" ගැන කතාව දැන් හොඳට ම ඇති
අතීත රජයන් කළ වැරදි හෝ "අවුරුදු 75ක සාපය" ගැන දිගින් දිගටම කතා කරමින් විපක්ෂයට දොස් පැවරීම රජය නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. වත්මන් රජය බලයට පත්ව ඇත්තේ එම වැරදි නිවැරදි කර සැබෑ වෙනසක් ඇති කිරීමට බැවින්, අතීතය ගැන කතා නොකර වගකීම නිසි ලෙස බාරගෙන රට සුභදායී කිරීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
