දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු මිනිස් ජීවිත සහ විනාශ වූ දේපොළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාර හානි ගෙවීම, නිවාස හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු විමසූ ජනාධිපතිවරයා නැවත පදිංචිකිරීම් සහ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව විමසා බැලී ය.
කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ප්‍රමුඛතාව
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ්, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, තලවාකැලේ, වලපනේ, මතුරට, හඟුරන්කෙත, කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10හිම පවුල් 18,266කට අයත් පුද්ගලයන් 61,833ක් පීඩාවට පත් වූ අතර වතු නිවස 675කට සහ ගම්මානවල නිවාස 1565කට පුර්ණ හානිත්, වතු නිවාස 612කට සහ ගම්මානවල නිවාස 153කට අර්ධ හානිත් සිදු වූ අතර ජීවිත හානි 93ක් වාර්තා විය. එම ජනතාවට සහන සැලසීමට ගෙන ඇති පියවරවල ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහි දී දීර්ඝ ලෙස විමසා බැලී ය. නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව පවතින වැසි සමයත් සමග ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත පදිංචි කිරීම් සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කිරීමේ කාර්යය කඩිනම් කරන ලෙසත්, එම ඉඩම්වල ස්ථීර නිවාස ඉදිකරන තුරු එම ස්ථානයේම කඩිනමින් තාවකාලික නිවසක් ඉදි කර දීමට පියවර ගන්නා ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.
ශක්තිමත් මූල්‍ය විනයක් මෙන්ම වැදගත් පරාමිතීන් තුළ කටයුතු කළ යුතු යි
මෑතකාලීනව සිදු වූ විශාලතම ව්‍යසනය වන දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ ජන ජීවිතය සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේ දී ව්‍යාකූල තත්ත්වයක් වුව ද නිසි සැලසුම් සහ රාජ්‍ය නිලධාරීන් ගේ කැපවීම හේතුවෙන් ඒ මතින් සාර්ථකව පියමං කරමින් මූලික අදියරේ වැඩකටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි වූ බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමි වීමට නම් එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් විය යුතු බවත්, එබැවින් නැවත පදිංචි කිරීම් ඇතුළු දෙවන අදියරේ කටයුතු ද ඉතා කෙටිකලකින් සාර්ථකව අවසන් කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් ගේ සහාය අපේක්ෂා කරන බවත් පැවසී ය. එමෙන්ම පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය යළි රට තුළ ඇති නොවන අන්දමින් රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම රජය මත පැවරී තිබෙන බවත්, එහිදී ශක්තිමත් මූල්‍ය විනයක් මෙන්ම වැදගත් පරාමිතීන් තුළ කටයුතු කළ යුතුව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේ ය.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී. විජේරත්න, වී.එස්. රාධක්‍රිෂ්නන් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, නගරාධිපති, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයෝ ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන් යන අය සහ අමාත්‍යාංශ ලේකම්වරු, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීහු, ආරක්ෂක අංශ නියෝජියෝ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
