Image

අටමස්ථානාධිපති හිමි ගේ සිද්ධිය පිළිබඳව 'නීතිය හා සමාජ භාරය' සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

අටමස්ථානාධිපති හිමි ගේ සිද්ධිය පිළිබඳව 'නීතිය හා සමාජ භාරය' සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද බවට චෝදනා එල්ල කර ඇති නඩුව (නඩු අංක 22424/2026 බී), කාර්ය පටිපාටිමය සහ වින්දිතයින් ආරක්ෂා කිරීම සම්බන්ධ බරපතල ගැටලු මතු කරන බව 'නීතිය හා සමාජ භාරය' සඳහන් කරයි.

එම භාරය මේ බව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ 'නීතිය හා සමාජ භාරය' නිකුත් කළ සම්පුර්ණ නිවේදනය යි.

විශේෂ නිවේදනය

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද බවට චෝදනා එල්ල කර ඇති නඩුව (නඩු අංක 22424/2026 බී), කාර්ය පටිපාටිමය සහ වින්දිතයින් ආරක්ෂා කිරීම සම්බන්ධ බරපතල ගැටලු මතු කරයි. මෙම නඩුවේ මුල් අවධියේදී ම, බලය සහ අවදානම් සහගත බව එකිනෙක ගැටෙන විට, ශ්‍රී ලංකාවේ නෛතික සහ ආයතනික රාමුවට ස්ථාවරව, මධ්‍යස්ථව සිටීමට සහ ළමයාගේ උපරිම යහපත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කරයි.

මේවන විට මේ සම්බන්ධ නීති කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, නීතිය හා සමාජ භාරය මෙම නඩුවට අදාළ කරුණු පිළිබඳව හෝ කිසිදු පාර්ශ්වයක වරදකාරිත්වය හෝ නිර්දෝෂීභාවය පිළිබඳව අදහස් දක්වන්නේ නැත. සියලු ම පාර්ශව වලට නීතිය ඉදිරියේ සමානව සලකන බව සහ සමාන ආරක්ෂාව ලැබෙන බව සහතික කිරීම සඳහා ආමන්ත්‍රණය කළ යුතු, රාජ්‍ය ප්‍රතිචාර යාන්ත්‍රණයෙහි ඇති ව්‍යුහාත්මක සහ ආයතනික අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කිරීම පමණක් අපි මෙහිදී සිදු කරන්නෙමු.

නීති ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුගත වීම අදාළ පාර්ශවයන්හි ඇති අතිවිශාල බල අසමතුලිතතාවයෙන් ආරක්ෂාව සලසයි.

චූදිතයා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ආගමික තනතුරු වලින් එකක් වන අටමස්ථානාධිපති නාහිමි තනතුර දරන්නා වන අතර, අධිකරණයේ දී නීතිඥයින් විසි දෙනෙක් පමණ චූදිතයාව නියෝජනය කළ බව වාර්තා වේ. වින්දිතයා පහළොස් හැවිරිදි දැරියක් වන අතර, ඇය අවුරුදු එකොළහේ දී පමණ පළමු වරට අපයෝජනයට ලක් වූ බව පැවසේ. මෙම සිද්ධියේ දී ඇයගේ මව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මෙම දැරියට දැන් භාරකරුවෙකු ලෙස ක්‍රියාකරන කිසිවෙකු නොමැති අතර, ඇයට සවන් දෙන්නේ, ඇය වෙනුවෙන් උපදෙස් ලබා ගන්නේ සහ ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා වන බව සහතික කරන්නේ කවුරුන්ද යන්න අපැහැදිලි ය. මෙම බලවේග ප්‍රායෝගිකව නීතියේ සමාන ආරක්ෂාව යන්නෙන් අදහස් වන දෙයෙහි හරයට හානි කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාව මගින් නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහතික කර ඇත; 27(13) වන ව්‍යවස්ථාව අනුව දරුවන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටියි. පීඩාවට පත් වන සෑම පාර්ශ්වයකටම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වන වගන්තිය මගින් නීති නියෝජනය සඳහා හිමිකම ලැබේ. මේවා අභිලාෂයන් නොවේ, නීතියෙන් බැඳී සිටින වගකීම් වේ.

අභියෝග

අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේදී ඇති අභියෝග සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැටළු සහගත වේ. චූදිතයා ඔහු සිටි පෞද්ගලික රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස නියෝග කරමින් මැයි 9 වන දින නියෝගයක් නිකුත් කර තිබියදීත්, ඉන් දින පහකට පසුව, එනම්, මැයි 14 වන දින එම මාරු කිරීම ක්‍රියාත්මක කිරීමට පෙර, මැයි 13 වන දින දෙවන නියෝගයක් අවශ්‍ය විය. පුරවැසියන්ගේ සහ සමාජයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, ආයතනික වැඩපිළිවෙළ පූජ්‍ය පක්ෂයේ ප්‍රබලයෙකුට අවශ්‍ය පරිදි කටයුතු කර දීමට නම්‍යශීලී වී ඇත.

2026 මාර්තු 6 වන දින නිට්ටඹුව පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකින් පසුව, දැරිය රාජ්‍ය ආරක්ෂාව යටතට පත්කර ඇත. ඇය වෙනුවෙන් ඇයගේ භාරකාරීත්වය දැරීමේ වගකීම රජයට පැවරී ඇත. නීතිඥවරයෙකුට ක්‍රියා කළ හැක්කේ සේවාදායකයෙකුගේ උපදෙස් මත හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ උපදෙස් මත පමණි. දැරියගේ ස්වාභාවික භාරකරු වන ඇයගේ මව, සම-චූදිතයෙකු ලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. දරුවාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නේ කවුද, දරුවා වෙනුවෙන් කතා කරන්නේ කවුද, දරුවා අධිකරණයේදී ආරක්ෂා කරන බව සහතික කරන්නේ කවුද යන ප්‍රශ්න වලට තවමත් පිළිතුරු නැත.

මෙම සිද්ධිය අධිකරණය හමුවට ගෙන ඒම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය සක්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇති බව අපි පිළිගන්නෙමු. මෙම ළමයා සඳහා ලබා දී ඇති නීති නියෝජනය කුමක්ද සහ ගෙන ඇති ආරක්ෂක පියවර මොනවාද සහ එසේ කිරීමේදී අධිකාරිය මුහුණ දෙන බාධක මොනවාද යන්න ප්‍රසිද්ධියේ පැහැදිලි කරන ලෙස අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු.

අපගේ ඉල්ලීම්

පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස නීතිය හා සමාජ භාරය රජයෙන් ඉල්ලා සිටියි:

🔘මෙම සිද්ධිය පිළිබඳ ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් වහාම සිදුකර නඩු පවරන බව සහතික කිරීමට;

🔘මෙම සිද්ධියට අදාළව නඩු පැවරීමේදී වින්දිත ළමයාගේ අයිතිවාසිකම් සහ යහපත ආරක්ෂා කරනු ලබන බවත්, ඇයට ඇයගේ මානසික හා ශාරීරික යහපැවැත්ම සුරක්ෂිත කරන ආරක්ෂාව සහ සහාය වෙත කඩිනම් සහ පූර්ණ ප්‍රවේශය ලැබෙන බවත් සහතික කිරීමට;

🔘සැකකරුවන්ට ඔවුන්ගේ තරාතිරම හෝ සම්බන්ධතා පදනම්ව කර ගෙන විශේෂ සැලකිල්ලක් ලබා නොදෙන බව සහතික කිරීමට.

සෑම සමාජයක් පිළිබඳවම විනිශ්චය කරනු ලබන්නේ එම සමාජය එහි සිටින වඩාත්ම අවදානම් සහගත අයට සලකන ආකාරය අනුව ය. මෙම නඩුව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව, ප්‍රායෝගිකව ද සමාන ආරක්ෂාව සපයා දෙන්නේද යන්න පිළිබඳ තවත් පරීක්ෂණයක් වේ.

නීතිය හා සමාජ භාරය

මූලාශ්‍ර - Law & Society Trust

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න