Image

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ - ජනාධිපති

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ - ජනාධිපති

2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) එක් වෙමිනි.

1999 වසරේ ආරම්භ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 වසරේ සිට සම්පූර්ණයෙන් නතර වී තිබිණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව වැඩ ආරම්භ කර වසර 24කට පසුව යළි මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සදහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2026 අයවැය යටතේ වෙන් කර ඇත. ඉතිරි ප්‍රතිපාදනද අවශ්‍යතාව පරිදි වෙන් කිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2027-12-31 දින වන විට අවසන් කිරීමට නියමිතය.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක...

ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂා ඉටු වෙමින් පවතිනවා

''රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම මෙන්ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජයට බලයට පත් කරගැනීමේදී ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂාව වුණා. ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු වෙන්නෙ නැහැ. අද: බලය, ධනය සහ තරාතිරම නොබලා සෑමට නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. එසේම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා.

මහබැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා

අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව හමුවේ මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් අපි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. අපි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. එහෙත් මැදපෙරදිග කලාපයේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීමේ දී ඩොලර්වල අගය ඉහළ ගියා. සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් අද පිටතට ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. ඇතැම් අපනයන ආදායම්වලට බලපෑමක් ඇති වී තිබෙනවා. අද රුපියලට සාපේක්ෂව ඩොලරය යම් ප්‍රමාණකින් ඉහළ යමින් තිබෙනවා. ඇතැමුන් කියනවා මේක 2022 වගේ කියලා. 2022 වගේ වෙන්නේ නැහැ. 2022 අපිට රුපියල් තිබුණේ නැහැ. 2022 මහබැංකුවෙත් ඩොලර් තිබුණේ නැහැ. අද එහෙම නෙවෙයි, වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් තිබෙනවා. මහබැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එදා මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50යි. හෙට අනිද්දා අපිට තවත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. එවිට සැලකිය යුතු ඩොලර් සංචිතයක් අපි ළඟ තිබෙනවා.

අපි රුපියල් උපයා තිබෙනවා

හැබැයි, ක්‍රමානුකූලව අපි රටේ ආර්ථිකය හැසිර විය යුතුයි. අපි කිසිසේත්ම ආනයනය කරන ඉන්ධන, ගෑස්, කිරි පිටි, පොහොරවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ. මම එය ඔබට සහතික වෙනවා. එදා ඉන්ධන නැතිව ගියා, කිරිපිටි නැතිව ගියා, ගෑස් නැතිව ගියා. පොහොර කොහොමත් නැතිව ගියා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. එහෙත් අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි එය කළමනාකරණය කර ගත යුතුයි. රට ඇතුළේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. දිට්වාවලට අපි මුහුණ දුන්නා. එය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි, මෙය අපේ පාලනයෙන් තොර මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වයක්. මෙයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මතවාද හදන්න හදනවා, මේක 2022 වගේමයි කියලා. එහෙම වෙන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. අපි ඒ ප්‍රශ්නය විසඳනවා. අපි රුපියල් උපයා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සංස්කෘතික මධ්‍යස්ථනයේ ඉදිකිරීම් වෙනුවෙන් අපිට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබුණේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර

වසර 30ක් පැවැති යුද්ධයක් අපට නැවත අවශ්‍ය නැහැ

''වසර 24කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වී තිබූ පසුබිමක, ජාතික ජන බලවේගය රජය බලයට පත්ව වසර එකහමාරක් ඇතුළත මෙය නැවත ආරම්භ කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. මඩකළපුව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේ දී ජනාධිපතිතුමා සඳහන් කළ පරිදි, මෙම රජය ජාති, ආගම් භේදයකින් තොරව කටයුතු කරන රජයක්. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ජාති, ආගම් භේදයකින් තොරව ජනතාවට සමගියෙන් ජීවත් වීමට අවශ්‍ය පදනම සැකසෙනවා.

වසර 30ක් පැවැති යුද්ධයක් අපට නැවත අවශ්‍ය නැහැ. නැඟෙනහිර පළාතේ ජනතාව යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය තුළින් මෙම රට තවදුරටත් ඉදිරියට ගෙන යා හැකියි. ඒ සඳහා සැවොම සහයෝගය ලබා දිය යුතුයි.''

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා

ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා...!

''පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිතුමා මෙහි පැමිණි අවස්ථාවේ දී මේ ප්‍රදේශයේ ඇති මූලිකම ප්‍රශ්නය මොකක්ද කියා ජනතාව ගෙන් විමසුවා. ඔවුන් ගේ ඉල්ලීම වුණේ ඉදිකිරීම් නැවතී තිබූ මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කර දෙන ලෙසයි. ජනතාව ගේ එම ඉල්ලීම අනුව 2026 අයවැය කතාවේ දී ජනාධිපතිතුමා නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මිලියන 300ක මුදලක් වෙන් කළ බව ප්‍රකාශ කළා. ඒ වගේම එහි වැඩකටයුතු අවසන් කිරීමට අවශ්‍ය වන ඉතිරි මුදලත් 2027 වසරේදී ලබා දීමට එකඟ වී තිබෙනවා. මේ ආකාරයෙන් නින්දවූර් ජනතාව ගේ ඉල්ලීමට සවන් දී එය ඉටු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා...!''

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්බාවා යන අය ගේ සහභාගිත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, නින්දවූර් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝ, දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න