අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදු වීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරිය ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරයි.
මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) රැස්වූ අවස්ථාවේ දී ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් 2026-06-05 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, ළමයින් සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසන වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය.
මේ අතර, අනුරාධපුර දැරියට අදාළ සිදුවීමෙහි ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමට ද තීරණය කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන අය ගේ මුලිකත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස, හේමාලි වීරසේකර, කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ සාගරිකා අතාවුද, නිලන්ති කොට්ටහච්චි, නිලූෂා ලක්මාලි ගමගේ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, හසාරා ලියනගේ, හිරුනි විජේසිංහ සහ ලක්මාලි හේමචන්ද්‍ර යන අය කටයුතු කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
