2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇපෑලක් කැඳවූ අවස්ථාවේ දී ය.
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව: අචල වෙංගප්පුලි, සම්පත් විජේරත්න සහ ඒ.එච්.එම්.ඩී. නවාස් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දී ඇත.
තම සේවාදායකයාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්නේ නම්, මෙම නඩුකර පවත්වාගෙන යාම පල රහිත යැයි දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවීමට නියම කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
