Image

පර්යන්ත රෝහලක පළමු වරට සිදු කළ ළමා වකුගඩු බද්ධ සැත්කම ඉතා සාර්ථකයි

පර්යන්ත රෝහලක පළමු වරට සිදු කළ ළමා වකුගඩු බද්ධ සැත්කම ඉතා සාර්ථකයි

පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ දී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මෙරට ළමා රෝහලක හැර පර්යන්ත රෝහලක පළමු වරට සිදු කළ ළමා වකුගඩු බද්ධ සැත්කම ඉතා සාර්ථක සිදු කළ බවත්, මින් ඉදිරියට සමස්ත ශ්‍රී ලාංකීය දරුවන් ගේ අවශ්‍යතා පරිදි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට සිය රෝහල සූදානම් බව පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ ඇතුළු ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අවධාරණය කළහ.

පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැති අතර, එහිදී සාර්ථකව සිදු කළ ඉහත‌ ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය පිළිබඳවත්, සැත්කමෙන් පසු රැකවරණය (Post-Surgery Care), සහ රෝහලේ අනාගත සැත්කම් සැලසුම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කළේ ය.

අවයව බද්ධ කිරීම ඇතුළු සියලු සේවා ලබා දෙයි

පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහල සමග එක්ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය සංවිධානය කළ ප්‍රවෘත්තිWhatsApp Image 2026 05 26 at 1.32.43 PM 1 සාකච්ජාවට සම්පත්දායකයන් ලෙස පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මෙන්ම වකුගඩු සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර, සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස යන අය සම්බන්ධ කරගෙන තිබුණි.

මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක ළමා රෝගියා සඳහා වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ එම දරුවාගේ පියා වන අතර මේ වන විට එම දරුවා සහ පියා සම්පූර්ණ සුවය ලබා සිටින බව ද මෙහි දී විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දුන්නේ ය.

පළමු ළමා වකුගඩු බද්ධ සැත්කමට ලක් වු දරුවා සහ වකුගඩුව පරිත්‍යාග කළ පියා සුවෙන්

මෙහි දී අදහස් දැක් වූ පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ පවසා සිටියේ 2021 වසරේ සිට රෝහල ජනතාවගේ ප්‍රතිකාර සේවා සඳහා විවෘත කළ බවත්, එතැන් සිට වකුගඩු රෝග ආශ්‍රිත රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය, රක්ත කාන්දුකරණය සහ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම ඇතුළු සියලු සේවා ලබාදෙන බවයි.

රෝහලේ පළමු සජීවී ළමා වකුගඩු බද්ධය සාර්ථකව සිදු කිරීමට ලැබීම රෝහල ලද ජයග්‍රහණයක් බවත්, සැත්කමට භාජනය වූ රෝගියා සහ රෝගියාට අවයව බද්ධ කළ රෝගියා ගේ පියා සුවෙන් පසුවන බව ද පැවසී ය.

රෝහලෙහි විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල කැපවීම මත මෙම ජයග්‍රහණය අත්කර ගත හැකි වූ බවත්, කිසිදු බියකින්, සැකයකින් තොරව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලට පැමිණ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවා ලබා ගන්නා ලෙස ද ජනතාව දැනුවත් කළේ ය.

රෝහල සියලු පහසුකම්වලින් ශක්තිමත්

ළමා හා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෙනුජය බණ්ඩාර පවසා සිටියේ රෝහල පළමු ළමා වකුගඩු බද්ධ කිරීම සාර්ථකව සිදුකරමින් ළමා වකුගඩු සත්කාර සේවාවේ සුවිශේෂී කඩඉමක් පසු කළ බවයි. දරුවන්ගේ දීර්ඝ කාලීන වකුගඩු රෝග සඳහා ප්‍රධාන හේතුන් ලෙස සංජානනීය වකුගඩු සහ මූත්‍රා මාර්ගය ආශ්‍රිතව තිබෙන ආබාධ වන බව ද පෙන්වා දෙන ලද අතර ළමා වකුගඩු රෝග විශේෂඥ සායන සෑම පළාතකම පිහිටුවා ඇති බවත්, නියමිත පරිදි සායනික ක්‍රියාකාරීත්වයක් සමග නොසිටීම හේතුවෙන් වකුගඩු දෙකම අකර්මණ්‍යවීමේ හැකියාව පවතින බවද පැවසීය. රෝහල තුළ ළමා වකුගඩු බද්ධ කිරීමේ සේවාවන් 2025 වසරේ මැද භාගයේ සිට ආරම්භ කළ බවත්, එතැන් සිට සායන සඳහා සහභාගි වූ දීර්ඝ කාලීන වකුගඩු රෝගය තිබෙන දරුවෙක් මෙම සැත්කම සඳහා භාජනය කළ බව ද දරුවාගේ පියා ද සියලු පරීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වූ බව ද පැවසීය. ළමා වකුගඩු රෝග සඳහා යම් කිසි ගැටලුවක් තිබෙන ඕනෑම දෙමව්පියෙකුට රෝහල වෙත යොමු විය හැකි බවත් එම සේවා කටයුතු සඳහා රෝහල සහ පළපුරුදු කාර්ය මණ්ඩලය සූදානම් බවද ඒ සඳහා වන සියලු පහසුකම්වලින් ද රෝහල ශක්තිමත් බව ද පැවසීය.

ශල්‍යකර්ම දෙක ම පැය තුනක් ඇතුළත

සනාල පටක හා වාහිනී බද්ධ කිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය මනුජය ගොඩකන්දගේ කියා සිටියේ වැඩිහිටි රෝගියකුට සිදුකරන වකුගඩු බද්ධයකට වඩා සංකීර්ණ සහ තාක්ෂණික වශයෙන් අභියෝගාත්මක පියවරක් ලෙස මෙම ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පෙන්වා දිය හැකි බවයි. ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකරන මෙරට ප්‍රධාන ආයතන දෙක හැරුණු විට මෙම රෝහල තුළින් එම සේවාව ලබාදීමට හැකිවීම සුවිශේෂී අවස්ථාවක් බව ද කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම තුළ මෙම සුවිශේෂි ජයග්‍රහණය අත් කර ගත හැකි වූ බවද පැවසීය. පැය දෙකහමාරක් තුනක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ශල්‍යකර්ම දෙකක් සිදු කරමින් කිසිදු සංකූලතාවයකින් ද තොරව සාර්ථකව සිදුකළ හැකි වූ බවද පැවසීය.

දරුවා ගේ අසනීපය දැනගත් දා සිට ජීවිතය එපා වෙලා

WhatsApp Image 2026 05 26 at 1.32.43 PM 2නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවක කුලතිස්ස පැවසුවේ මෙය අභියෝගාත්මක ශල්‍යකර්මයක් බවත් සංකූලතා ඇති නොවන පරිදි දරුවා සහ පියා ශල්‍යකර්ම සඳහා සූදානම් කරමින් දරුවාට සහ පියාට ශල්‍යකර්ම දෙකක් සිදු කරමින් සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළ සාර්ථකව පළමු ළමා වකුගඩු බද්ධ කිරීම සිදු කළ හැකි වූ බවයි.

ළමා වකුගඩු බද්ධය සිදු කරන ලද දරුවා ගේ මව අදහස් දක්වමින් කියා සිටියේ දරුවා ගේ අසනීපය දැනගත් දා සිට තමන්ට ජීවිතය පවා එපා වූ බවත් එම අසනීපය වෙනුවෙන් කළ යුතු සියල්ල වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වියදම් කරන්නට පවා සිදුවිය හැකි බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ බව යි. ඒ අතර පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව වකුගඩු රෝහල ගැන දැනගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යොමු වු බවත් සියලු වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යකර්ම, ඖෂධ ඇතුළුව ආදරණීය සේවාවක් රෝහලෙන් නොමිලේම ලබාදුන් බවද ඇය ප්‍රකාශ කළා ය.

ළමා වකුගඩු රෝගීන් සඳහා වකුගඩු බද්ධ කිරීම යනු අවසාන අවධියේ වකුගඩු අක්‍රිය වීමෙන් (End-Stage Renal Disease) පෙළෙන දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ලබා දීම සඳහා සිදු කරන ප්‍රධානතම සහ සාර්ථක ම ශල්‍යකර්මය යි. ශ්‍රී ලංකාව තුළ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල (LRH), පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහල යනාදි රජයේ ප්‍රධාන රෝහල්වල මෙම සැත්කම් නොමිලේ සහ සාර්ථකව සිදු කරයි.

මේ ආකාරයේ සැත්කම් ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු ආසන්න රටවල මෙන්ම එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල ද සිදු කෙරෙන නමුත් ශ්‍රී ලාංකික දරුවන් එවැනි රටවලට රැගෙන යාමේ ප්‍රධාන අභියෝගය වන්නේ ඒ සඳහා අධික මුදලක් වැය වීමයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් ද එක්ව සිටියේ ය.

WhatsApp Image 2026 05 26 at 1.32.42 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න