වත්මන් ජාතික ජන බලවේග රජය (මාලිමාව) බලයට පත් වී මාස 18ක් ගත වී ඇතත්, තමන් කෙරෙහි බලාපොරොත්තු තැබූ ජනතාව වෙනුවෙන් එකදු සාර්ථක කාර්යයක් හෝ ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි.
එක්සත් ජනරජ පෙරමුණේ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජාතික සංවිධායක තීක්ෂණ ගම්මන්පිල සහ තරුණ අංශයේ නියෝජ්‍ය නායක රණසිංහ යන අය ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.
ජනතා මුදල් නාස්ති කළ අසාර්ථක ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක තීක්ෂණ ගම්මන්පිල පෙන්වා දුන්නේ රජය විසින් මහත් ඝෝෂාවක් පවත්වමින් ආරම්භ කළ "ක්ලීන් ශ්‍රී ලංකා" සහ "ඉවත් වෙමු" මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා විශාල වශයෙන් මහජන මුදල් හා කාලය නාස්ති කළ ද, ඒවායින් සමාජයට අත් වූ සැබෑ ප්‍රතිඵලයක් නොමැති බව යි.
තවද, බලයට පත්වීමට පෙර විවෘත කිරීම් සහ මුල්ගල් තැබීම් සඳහා මහජන මුදල් නාස්ති නොකරන බව පැවසූ රජය, අද වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් විවෘත කිරීම සඳහා ගලගෙදර ක්‍රීඩාංගණයේ මහා පරිමාණ උත්සව සංවිධානය කරමින් තම ප්‍රතිපත්ති තමන් විසින්ම උල්ලංඝනය කරමින් සිටින බව ද ඔහු පැවසීය.
'ද්විත්ව' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් එකතු වූ රුපියල් බිලියන 1.6ක සහ ඩොලර් මිලියන 11කට අධික ආධාර මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව හෙළි කළ ගම්මන්පිල, රජයේ ගිණුම්වල මුදල් තිබිය දී පීඩාවට පත් ජනතාවට නිසි සහන ලබා නොදෙන බවට ද චෝදනා කළේ ය.
මැතිවරණ කල්දැමීම සහ රජය ඇතුළෙ කැලඹීම
පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා කරන ප්‍රකාශ දැඩි දෝෂදර්ශනයට ලක් කළ තීක්ෂණ ගම්මන්පිල, කැබිනට් මණ්ඩලය හෝ නීතිමය වගකීමක් නොමැති පක්ෂ මහලේකම්වරයකුට මැතිවරණ පවත්වන දිනයන් තීරණය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කළේ ය. ටිල්වින් සිල්වා මුදල් නොමැති බව පවසද්දී, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මුදල් ප්‍රශ්නයක් නොමැති බව පැවසීමෙන් රජය ඇතුළත පවතින දැඩි පරස්පරතාව සහ කැලඹීම මනාව පැහැදිලි වන බව ද ඔහු පැවසී ය.
IMF ණය, බදු බර සහ අඩාළ වූ ආර්ථික වර්ධනය
මෙහි දී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේ, පෙර පැවැති රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් පැහැදිලි වැඩපිළිවෙළ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ඩොලර් මිලියන 695ක ණය මුදලක් වත්මන් රජයට ලැබී ඇති බවයි.
කෙසේ වෙතත්, රජය රාජ්‍ය ආදායම් වර්ධනය කරගෙන ඇත්තේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ඔරොත්තු නොදෙන බදු පැනවීමෙන් පමණක් බවත්, රටේ සැබෑ ආර්ථික වර්ධන වේගය මේ වසරේ 3% නොඉක්මවන බව IMF පවා පිළිගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හෝ අපනයන වර්ධනය කිරීමට වත්මන් පාලනය මුළුමනින්ම අසමත් වී ඇත.
භාණ්ඩාගාර වංචා, අභිරහස් මරණ සහ දූෂණ වංචා
ආර්ථික ඉලක්ක පසුපස පමණක් හඹා යමින්, වත්මන් රජය සිදුකරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සහ දූෂිත ක්‍රියාවන් දෙස IMF සංවිධානය ඇස් පියාගෙන සිටීම පිළිබඳව චන්ද්‍රසේකර මහතා දැඩි චෝදනාවක් එල්ල කළේය. රජයේ දූෂණ සහ බිඳවැටීම් පිළිබඳව ඔහු කරුණු කිහිපයක් අනාවරණය කළේය:
නොරොච්චෝල ගල්අඟුරු වංචාව: නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචනික සහ අසාර්ථක වීම හේතුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ දැඩි විදුලි කප්පාදුවක් හෝ විදුලි බිල ඉහළ යාමේ අවදානමක් පවතී.
වරාය බහාලුම් අතුරුදහන් වීම: කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් නිකුත් වූ කන්ටේනර් 23න් දෙකක මත්ද්‍රව්‍ය තිබූ බව හෙළි වුවද, ඉතිරි කන්ටේනර් පිළිබඳ පරීක්ෂණ වාර්තා රජය විසින් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.
භාණ්ඩාගාර වංචාව සහ අභිරහස් මරණය: මහා භාණ්ඩාගාරයේ විදේශ ණය ගෙවීම් අංශයෙන් ඩොලර් මිලියන 2.5ක් අපහරණය කිරීමේ සිද්ධිය පිළිබඳව CID එකට සාක්කි දුන්, ජාතික ජන බලවේගයේ හිතවතෙකු වූ 'රංග රාජ්' නමැති ඉහළ නිලධාරියා අභිරහස් ලෙස මරණයට පත්වීම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැත.
අල්ලස් කොමිසමේ තර්ජන: අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සාක්කිදීමට පැමිණෙන පුද්ගලයන්ට (මියගිය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි විධායක අධ්‍යක්ෂවරයාට මෙන්) තර්ජනය කර බියගන්වන බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒකාබද්ධ විපක්ෂය විසින් ඒ පිළිබඳ වහාම විනය පරීක්ෂණයක් ඉල්ලා ඇත.
දේශපාලන ස්ථාවරත්වයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති තැනක කිසිදා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ නොහැකි බව ලෝක ඉතිහාසය පුරා ඔප්පු වී ඇතැයි පැවසූ බන්දුල චන්ද්‍රසේකර මහතා, වත්මන් මාලිමා රජයේ මෙම ඒකාධිපති සහ උද්දච්ච ගමන නැවැත්වීමටත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් සියලු දේශපාලන පක්ෂ සහ ජනතාව ඒකාබද්ධ විය යුතු කාලය එළඹ ඇතැයි පවසමින් සිය අදහස් දැක්වීම අවසන් කළේ ය.
එක්සත් ජනරජ පෙරමුණ (URF)
වැඩිදුර තොරතුරු සඳහා: මාධ්‍ය අංශය, ගෙශාන්: +94 71 898 3420
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
