තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ තෙමඟුල සැමරීමේදී ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජා සඳහා මුල්තැන දීම ඉතා වැදගත් වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සම්මා සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන තෙමඟුල සැමරීමේ දී මනුෂත්වයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවිය යුතු යැයි වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සිය සුහ පැතුම් එක්කරමින් අනුනායක හිමියන් මේ බව සඳහන් කළේ ය.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජා සඳහා මුල් තැන දීම වඩා වැදගත් බවත් ඒ අනුව දන්සැල්, වෙසක් කූඩු, තොරණ් ආදිය ප්‍රදර්ශනය කිරීමට අමතරව ධර්මය අනුගමනය කරමින් ප්‍රතිපත්ති පූජාවල නිරතවීම වැදගත් වන බව කී අනුනායක හිමියන් තව දුරටත් මෙසේ ද පැවසූහ.
''මල් පහන් පූජා කිරීම, වෙසක් තොරණ්, වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම වැදගත් වන නමුත් ඊටත් වඩා ප්‍රතිපත්තිමය පූජාවන් අනුගමනය කිරීම වඩා වැදගත් වන බවයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ තුළින් යමෙකුගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගත හැකියි. ශාස්තෘවරයාණන් වහන්සේ වෙනුවෙන් කරන උතුම්ම පූජාවක් වශයෙන් ප්‍රතිපත්තිමය පූජාවන් සිදුකිරිම ඉතාමත් සුදුසු යි.''

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
