අගුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි ''සෙනෙහසේ කැදැල්ල'' නමැති වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙම ගින්නට පෙර සහ පසු අවස්ථාවේ ක්‍රියා කර තිබෙන නොසැලකිලිමත්කම මත නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ 'ලොකු අයියා' නමින් හඳුන්වන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මසකට 35,000ක් අය කළත්, සේවාව දුර්වලයි
පුද්ගලික වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයට ඊයේ උදෑසන වනවිට ගින්නෙන් මියගිය අයගේ පවුල්වල උදවිය ද පැමිණ තිබුණි. ඔවුන් කළ හෙළිදරව්ව අනුව මාසිකව රුපියල් 35000 ක පමණ මුදලකට මෙම ස්ථානයේ තමතමන්ගේ වැඩිහිටියන් බලාගැනීමට යොමු කර තිබූ බව කියැවිණි. මෙම ස්ථානයේ මන්ද මානසික මෙන්ම එසේ නොවන අය ද රැකවරණය සපයා ඇති අතර ඉහළ වෘත්තිය පළපුරුද්දක් සහිතව බලාකියාගන්නා බව කියා තිබුණත් ඉතා දුර්වල මට්ටමින් එම සේවා සලසා ඇති බව වාර්තා විය.
සමහර අය මේසවල ගැටගහලා
පැමිණ සිටි ඥාතීන් පවසා තිබුණේ, තමන්ට නිරන්තරයෙන් මාපියන් බලන්නට අවස්ථාව ලැබුණේ නැති බවත් මාසයකට දිනයක් පමණක් අවසරය ලැබුණ බවත් ය. මේ දිනය වනවිට සේවා සලයන අය උනන්දුවෙන් හැසිරුණත් මාසයේ අනෙක් දිනවල තත්ත්වය වෙනස් බවත් බලාගන්න අමාරු අය මේසවල ගැටගසා ඔවුන් ඒ අය දෙස බලන්නේවත් නැතිව නොසැලකිල්ලකින් කටයුතු කළ බව ආරංචි වී තිබූ බවත් ය.
72ක් වූ පිරිස අතරින් 54ක් ම බේරාගෙන
දැනට ලැබෙන තොරතුරු අනුව වාර්තාවන්නේ ගින්න අවස්ථාවේ අසල්වාසීන් ද උදවු වී නිවසේ සිටි අය එළියට ගනිමින් ජීවිත බේරාගන්නට දැරූ ප්‍රයත්නය නිසා 72ක් වූ පිරිස අතරින් 54ක් ම බේරාගෙන ඇති අතර 12 ක් මියගොස් 06 කට පමණ තුවාල සිදුව තිබේ. මියගිය අය බේරාගන්නට අපහසුවී ඇත්තේ ඇතැම් අය සිටි තැන්වල ම ගැටගසා තිබීම නිසා ය. ගිනිදැල් අතරින් යෑමට පුළුවන් හැකි සෑම අතට ම ගොස් බේරාගන්නට අසල්වාසීන් දැරූ ප්‍රයත්නය අසල පන්සලක ස්වාමීන් වහන්සේ නමක ද අගය කර තිබුණි. නමුත් අවාසනාවකට ගැටගැසූ අය නිරපරාදේ මරණයට පත්විය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ විසින් ඊයේ පෙරවරුවේ දී එම වැඩිහිටි නිවාසයේදී සිදු කර තිබුණි. ගින්නට හසුව පිලිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීම ද සිදුවිය.
බේරාගත් පිරිස වෙනත් වැඩිහිටි නිවසක් වෙත
ගින්නෙන් බේරාගත් පිරිස බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වුණු අතර පසුව එම පිරිස යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වෙත ආරක්ෂිතව යොමු කර ඇත. ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔහුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මූලාශ්‍ර - CIA උකුස්සා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
