Image

තරුණයාට අනාගතයක් නැති රටකට අනාගතයක් නැහැ - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

තරුණයාට අනාගතයක් නැති රටකට අනාගතයක් නැහැ - මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

තරුණයාට අනාගතයක් නැති රටකට අනාගතයක් නොමැති බවත්, අප තරුණ පරපුරේ හඬට සවන් දිය යුතු බවත්, ඔවුන් ගේ අනාගතය රැක ගත යුතු බවත්, ඒ අන් කිසිවක් නිසා නොව  ඔවුන් ගේ අනාගතයම ශ්‍රී ලංකාවේ අනාගතය වන බැවින් යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එම ප්‍රකාශයේ වැඩි දුරටත් මෙලෙස සඳහන් වේ.

උපාධිය සහ රැකියාව අතර විශාල පරතරයක් නිර්මාණය වෙලා

“පසුගිය දින කිහිපය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයට එක් වූ රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන්ගේ හඬ, හුදෙක් රැකියාවක් ඉල්ලා සිටින පිරිසකගේ හඬක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත තරුණ පරපුරේ හඬයි. එය අනාගතය පිළිබඳ බියට පත් වූ පරපුරක සංඥාවයි. රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් පමණ වන මෙම තරුණ පිරිස, දේශපාලනික, ආර්ථික සහ සමාජමය තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරව සිටින “ආන්තික ප්‍රජාව” ලෙස සැලකිය හැකිය. ඔවුන්ට අධ්‍යාපනය ඇත. දක්ෂතා ඇත. සිහින ඇත. නමුත් අවස්ථා නොමැත. මෙය හුදෙක් සංඛ්‍යා ලේඛන පිළිබඳ කතාවක් නොවේ. එය උපාධියක් අතැතිව රැකියාවක් සොයන තරුණයාගේ කතාවයි. එය තම දරුවන් ගේ අනාගතය ගැන සැලකිලිමත්ව බලා සිටින මව්පියන් ගේ කතාවයි. එය වඩා හොඳ ජීවිතයක් පිළිබඳ සිහින දකින, නමුත් ඒ සඳහා මාර්ගයක් නොපෙනෙන පරපුරක කතාවයි. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සෑම වසරක ම දහස් ගණනක් උපාධිධාරීන් බිහි කරයි. නමුත් ආර්ථිකය ඔවුන්ට අවශ්‍ය රැකියා බිහි නොකරයි. එහි ප්‍රතිඵලය වන්නේ උපාධිය සහ රැකියාව අතර විශාල පරතරයක් නිර්මාණය වීමයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා, සමාජ මාධ්‍යවල කෝපය, විදේශගත වීමට ඇති ආශාව සහ තරුණයන්ගේ කලකිරීම මේ අසමතුලිතතාවයේ ප්‍රතිඵලයන්ය.

තරුණ පරපුර සතුව උපාධි සහතික තිබුණට අනාගතයක් නෑ

අද ශ්‍රී ලංකාවේ සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙක්ම තරුණයෙකි. ශ්‍රී ලංකාව අද මුහුණ දෙන්නේ අර්බුදයකට පමණක් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ කලාතුරකින් ලැබෙන සුවිශේෂී  අවස්ථාවක්. රටේ ජනගහනයෙන් විශාල කොටසක් තරුණයන් වීම, සංවර්ධනයේ රන්මය කවුළුවක් විවෘත වීමක් ලෙස ලෝකය හඳුන්වයි. මෙය සංඛ්‍යාලේඛනවල සටහන් වූ අංක කිහිපයක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන ජීවමාන ශක්තියයි. මෙය ඉතිහාසයේ දුර්ලභ ජනගහන අවස්ථාවකි. නමුත් මෙම තරුණ බලවේගයට රැකියා සහ ආර්ථික අවස්ථා නිර්මාණය නොකළහොත්, එය ‘යෞවන ලාභාංශයක්’ නොව, සමාජ–ආර්ථික අර්බුදයක ආරම්භයක් බවට පත් විය හැක. ලෝකයේ ආර්ථික ආශ්චර්යයන් බොහොමයක් ගොඩනැගුණේ තරුණ ජනගහනයේ ශක්තිය නිසි මගට යොමු කිරීමෙනි. තරුණයන්ට රැකියා ලබා දීම, කුසලතා වර්ධනය කිරීම සහ නවෝත්පාදන සඳහා අවස්ථා නිර්මාණය කිරීම හරහා ඔවුන් රටේ සංවර්ධන යාන්ත්‍රණයේ ප්‍රධාන බලවේගය බවට පත් කළහ. නමුත් අද ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. රටේ අධ්‍යාපනය ලැබූ තරුණයන් රැකියා සොයා වීදි බැස සිටිති. උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වති. විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණයාගේ අතේ සහතිකයක් තිබුණත්, අනාගතයක් නැති තත්ත්වයක් නිර්මාණය වී ඇත.

රටේ ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ එහි තරුණ බළකාය යි

තරුණයන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන සෑම අවස්ථාවක ම බිඳ වැටෙන්නේ පුද්ගලයෙකුගේ සිහිනයක් පමණක් නොවේ. බිඳ වැටෙන්නේ රටක සංවර්ධන හැකියාවයි. අහිමි වන්නේ ජාතියක අනාගතයයි. එබැවින් අද ආණ්ඩුව ඉදිරියේ තිබෙන ප්‍රමුඛතම අභියෝගය වන්නේ තරුණයන්ට සහ උපාධිධාරීන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීමයි. තරුණ ශක්තිය බරක් ලෙස නොව, ජාතික සම්පතක් ලෙස දැකීමයි. ඔවුන් රැකියා පෝලිම්වල රඳවා තැබීම නොව, නිෂ්පාදන ක්‍රියාවලියට සහ ආර්ථික වර්ධනයට සම්බන්ධ කිරීමයි. අද අප සතුව තිබෙන්නේ ජනගහන වාසියක් පමණක් නොවේ. එය රට ගොඩනැගීම සඳහා ඉතිහාසය අපට ලබා දී ඇති අද්විතීය අවස්ථාවකි. එය නිසි ලෙස භාවිතා කළහොත් ශ්‍රී ලංකාවට නව යුගයක් උදා කළ හැකිය. එය අපතේ හැරියහොත්, අනාගත පරපුර අපෙන් අසනු ඇත්තේ “රට ගොඩනැගිය හැකි තරුණ ශක්තිය ඔබට තිබියදී, ඔබ එය අහිමි කළේ ඇයි?” යන ප්‍රශ්නයයි. තරුණයන් රටේ ප්‍රශ්නය නොවේ. ඔවුන් රටේ විශාලතම සම්පතයි. ඔවුන් රටේ බර නොවේ. ඔවුන් රට ඉදිරියට ගෙන යන එන්ජිමයි. රටක තරුණ පරපුර බලාපොරොත්තු අහිමි කර ගැනීම, ඕනෑම ආර්ථික අර්බුදයකට වඩා භයානක ය. රටේ ශ්‍රේෂ්ඨතම සම්පත වන්නේ එහි තරුණ බළකාය යි. එම සම්පත නිෂ්ක්‍රීයව තැබීම යනු ජාතික අපරාධයකි.

එබැවින් ශ්‍රී ලංකාවේ සැබෑ අභියෝගය වන්නේ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම නොව, එම වර්ධනය ඵලදායී රැකියා, සමාජ සංචලනය සහ ඊළඟ පරපුරට නව අවස්ථා බවට පරිවර්තනය කිරීමයි. රටක් දියුණු වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ සංඛ්‍යා ඉහළ යාමෙන් පමණක් නොවේ. එහි තරුණයන්ට බලාපොරොත්තුවක්, රැකියාවක් සහ අනාගතයක් නිර්මාණය වූ විට ය. අද අවශ්‍ය වන්නේ තරුණයන්ට සහන ලබා දීම නොව, ඔවුන් සවිබල ගැන්වීමයි. රැකියා විරහිතභාවය පිළිබඳ වාර්තා ලිවීම නොව, රැකියා නිර්මාණය කිරීමයි. උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීම නොව, උපාධිධාරීන්ට ගෞරවනීය ජීවිතයක් ගොඩනැගිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. තරුණයාට අනාගතයක් නැති රටකට අනාගතයක් නැත. අප තරුණ පරපුරේ හඬට සවන් දිය යුතු ය.
ඔවුන් ගේ අනාගතය රැක ගත යුතු ය.
මන්ද, ඔවුන් ගේ අනාගතයම ශ්‍රී ලංකාවේ අනාගතය වන බැවිනි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න