ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ පසු ගිය 06වන දා අභාවප්‍රාප්ත විය. මියයන විට හෙතෙම ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍ර තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ඉහළ පිළිගැනීමක් දිනා සිටි, මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සැපයූ අද්විතීය ව්‍යවසායකයෙකු ලෙස සැලකේ.
අඩිතාලම

ඔහුගේ ව්‍යාපාරික මූල 1930 දශකය දක්වා දිවයන අතර, දෙහිවල ප්‍රදේශයේ කුඩා බිස්කට් කර්මාන්තශාලාවක් පවරා ගනිමින් 1939 වසරේදී විලියම්ස් කොන්ෆෙක්ෂනරි (Williams Confectionery) සමාගම ආරම්භ කළ සයිමන් ආතර් වික්‍රමසිංහ ගේ බාල පුත්‍රයා වූයේ රම්‍ය වික්‍රමසිංහ යි. 1961 වසරේ දී පියාගේ අභාවයෙන් පසුව රම්‍ය වික්‍රමසිංහ ඇතුළු සහෝදරයින් සිව්දෙනා මෙම ව්‍යාපාරයේ වගකීම භාරගත් අතර, එය වර්තමාන දැවැන්ත සීබීඑල් සමූහය දක්වා වර්ධනය කිරීමේ මූලික අඩිතාලම එතැන් සිට නිර්මාණය විය.
'ත්‍රිපෝෂ' නිෂ්පාදන වට්ටෝරුව
ආහාර තාක්ෂණවේදියෙකු ලෙස විශේෂඥ දැනුමක් සතු වූ වික්‍රමසිංහ, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ පෝෂණ අගය ඉහළ නැංවීම සඳහා සිය වෘත්තීය ජීවිතය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. 1973 වසරේදී රජය සහ කෙයාර් (CARE) සංවිධානය එක්ව ගැබිනි සහ කිරිදෙන මව්වරුන් සඳහා හඳුන්වා දුන් 'ත්‍රිපෝෂ' නිෂ්පාදනයේ වට්ටෝරුව සකස් කිරීම සඳහා ඔහු ගෙන් ලැබුණු දායකත්වය එහි දී සුවිශේෂී වේ. මීට අමතරව 1960 දශකයේ අගභාගයේ දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු මිනේකා වික්‍රමසිංහ ගේ මූලිකත්වයෙන් පාසල් දරුවන් ගේ මන්දපෝෂණය පිටුදැකීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කෙයාර් සංවිධානය සමග එක්ව ප්‍රෝටීන් බහුල බිස්කට් නිෂ්පාදනයක් හඳුන්වා දීමත් සමග 1968 වසරේ දී පන්නිපිටියේ දී සීබීඑල් සමාගම නිල වශයෙන් ස්ථාපිත කෙරිණි. එම වැඩසටහන හරහා දශක දෙකකට ආසන්න කාලයක් පාසල් දරුවන් මිලියන 1.3 කට පමණ පෝෂණ සත්කාරය හිමිවිය.
බිස්කට් වෙළෙඳපොළෙන් සියයට හැටක්

සිය වැඩිමහල් සොහොයුරාගේ විශ්‍රාම යෑමෙන් පසුව 2015 වසරේ දී සීබීඑල් සමූහයේ සභාපති ධුරයට පත්වීමට පෙර ඔහු එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස දිගු කලක් කටයුතු කළේය. එම නායකත්වය යටතේ සමාගම මෙරට බිස්කට් වෙළෙඳපොළෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සමත් වූ අතර, මන්චි (Munchee) සන්නාමයට අමතරව රිට්ස්බරි, ටියාරා, ලංකාසෝයි, සමපෝෂ සහ නියුට්‍රිලයින් යනාදි ජනප්‍රිය සන්නාම රැසක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණි. ශ්‍රී ලංකාව තුළ අනුබද්ධ ආයතන නවයක් පවත්වාගෙන යන සීබීඑල් සමූහය මේ වන විට ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය සහ ඝානාව යන රටවල ද සිය නිෂ්පාදන කටයුතු ව්‍යාප්ත කරමින් ගෝලීය සමාගමක් බවට පරිවර්තනය වී හමාර ය.
සේවක සුබසාධනය ඉහළින් ම

ගුණාත්මකභාවය කිසිදු විටෙක පාවා නොදෙන ප්‍රතිපත්තියක සිටි වික්‍රමසිංහ, දේශීය ගොවීන් සමග සෘජුව සම්බන්ධ වෙමින් දේශීය අමුද්‍රව්‍ය භාවිතයට ප්‍රමුඛත්වය ලබාදීම මෙන්ම ලාභාංශ බෙදාගැනීම බඳු ක්‍රමවේද හරහා සේවක සුබසාධනය ද ඉහළින් ම අගය කළේ ය. ඔහුගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සීබීඑල් ආයතනය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව රැකවරණය, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය පදනම් කරගත් සමස්ත ප්‍රජාවක්ම නිර්මාණය කිරීමට බවයි. ඔහුගේ දූරදර්ශී වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළින්ම සනිටුහන් කිරීමට හැකිවූ බවත්, කරුණාවන්තකම සහ මානුෂීය ගතිගුණවලින් පිරිපුන් එම විශිෂ්ට නායකයා ගේ මතකය සදාකාලිකව සැමරුමට ලක්වනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Emil Rohan
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
