විදෙස් සංචාරක ආකර්ෂණය හිමිවන පරිදි මෙරට ප්‍රධාන නගර හතරක් සන්නාමකරණය ( City Branding) කිරීමට රජය සැලසුම් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සංකල්පයක් අනුව මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම යන නගර සන්නාමගතකරණය වන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත මෙම නගර සන්නාමගතකරණය සිදුවන බව එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල පැවසී ය.
පළාත් අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ නගර සන්නාමකරණයට සමගාමීව මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්. බී. එස්. අභයකෝන් ගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (11) පැවැති අවස්ථාවේ දී ය.
දැනට ලෝකයේ විවිධ රටවල ඇතැම් නගර මේ අයුරින් සන්නාමගත වී ඇතැයි පෙන්වා දුන් හෙතෙම එවැනි රටවල සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය, ආහාර පාන, සොබා දහම, සංචාරක කර්මාන්තය ආදී ඒ ඒ අංශවල පවතින ජනප්‍රියතාව අනුව සන්නාමකරණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ යෝජිත නගර ද එවැනි අංශවලින් කැපී පෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි පෙන්වා දුන්නේ ය.
සංචාරකයින් මෙවැනි රටවල සංචාරය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව පෙන්වා දුන් හෙතෙම මෙරට නගර සංවර්ධනය සහ පහසුකම් සම්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකාව ද සංචාර්ක පාරාදීසයක් බවට පත් කර ගත හැකි යැයි පැවසුවේ ය.
මහනවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, මහනුවර සන්නාමකරණ ව්‍යාපෘතියේ කළමණාකරණ අධ්‍යක්ෂ උත්පලා උයන්වත්ත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
