Image

පල්ලේගම හිමි ගේ රුධිර සාම්පල් ගන්නැයි අධිකරණ නියෝගයක්

පල්ලේගම හිමි ගේ රුධිර සාම්පල් ගන්නැයි අධිකරණ නියෝගයක්

බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින, හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (ජූනි 12) නියෝග කළේ ය.

ඒ අනුව එළඹෙන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමිනමට වැඩිදුරටත් නියෝග කර ඇත.

නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මගින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දින DNA පරීක්ෂණයක් සඳහා නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණු බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම නඩු භාණ්ඩ වූයේ, අදාළ දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත්, රුධිරය තැවරී ඇතැයි සැක කෙරෙන ඇඳුම් ය.

පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ එම නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් DNA පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහි දී දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් තහවුරු වී ඇති බවයි.

පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ එම DNA ඇලීල සමග සැසඳීම සඳහා සැකකාර හිමිනම ගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව යි. ඒ අනුව දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනම ගේ රුධිර සාම්පල ගැළපෙන්නේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා හිමිනමට රුධිර සාම්පල ලබාදෙන ලෙස නියෝග කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුධිර සාම්පල ලබාදීමට නියෝග කළ අතර, ඉන් අනතුරුව සිදුකරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.

බාල වයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර, පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි. එසේම, සැකකාර හිමියන් දරමින් සිටි අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය ඉකුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දී අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

මෙවැනි අපරාධ විමර්ශනයක දී සැකකරුවකු අපරාධයකට සම්බන්ධ බව තහවුරු කිරීමට ඇති ප්‍රබලතම විද්‍යාත්මක සාධකය වන්නේ DNA පරීක්ෂණයයි. මතු දැක්වෙන්නේ එහි වැදගත්කමයි.

DNA ඇලීලයක් යනු ජානයක පවතින විකල්ප ස්වරූපයකි. සෑම පුද්ගලයෙකුට ම (සමජාත නිවුන් දරුවන් හැර) සුවිශේෂී වූත්, අනන්‍ය වූත් DNA රටාවක් ඇත. මෙම පරීක්ෂණයේ දී දැරිය විසින් වළ දමා තිබූ ඇඳුම්වලින් සොයාගත් ජෛව සාම්පලවල ඇති DNA රටාව, සැකකාර හිමිනමගේ රුධිරයෙන් ලබාගන්නා DNA රටාව සමග සෘජුවම සැසඳීමක් සිදුකරයි.

සාමාන්‍ය සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ හෝ වෙනත් තොරතුරු වෙනස් වීමට ඉඩ තිබුණ ද, DNA යනු බොරු කළ නොහැකි ජීව විද්‍යාත්මක සාක්ෂියකි. ඇඳුම්වල තිබූ DNA සහ සැකකරුගේ රුධිරයේ DNA 100% ක් ගැළපෙන්නේ නම්, එයින් සැකකරු අපරාධය සිදුවූ අවස්ථාවේ වින්දිතයා සමග භෞතිකව සම්බන්ධ වී ඇති බව නිසැකව ම තහවුරු වේ.

අධිකරණ ක්‍රියාවලියේදී සැකකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට මෙම රස පරීක්ෂක වාර්තාව තීරණාත්මක සාධකයක් වේ. යම් හෙයකින් DNA නොගැළපේ නම් සැකකරු නිදොස් කිරීමට ද මෙම පරීක්ෂණය ඒ හා සමානවම වැදගත් වේ.

මූලාශ්‍ර - whatnews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න