සියදිවි නසාගැනීම් සහ ඒ ආශ්‍රිත සිදුවීම් වාර්තා කිරීමේ දී මාධ්‍ය සදාචාරය රැකගැනීම සහ වගකීම් සහගත භූමිකාව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ විශේෂ උපදේශන වැඩමුළුවක් (Advocacy workshop on responsible media reporting on suicide for media personnel) අද (16) බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සංවිධාන කළ මෙම වැඩමුළුව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ වෘත්තිකයින් මෙන්ම මාධ්‍යවේදීන් රැසක් සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වූහ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙහි දී අදහස් දක්වමින් සමස්ත සමාජයේ අර්බුදයක ප්‍රතිඵලයක් පිළිබඳව කථිකාවකට ලක්වීම ඉතා වැදගත් වන බවත්, තොරතුරු වාර්තා කිරීමේ අයිතිවාසිකම මාධ්‍යවේදීන්ට ඇති බව ද සඳහන් කළාය. එහෙත් ලිංගික අපරාධ, සියදිවි හානිකරගැනීම් වැනි විශේෂිත අපරාධ අවස්ථාවල දී සියලු තොරතුරු වාර්තා කිරිම එම සිදුවිමට කළ හැකි උපරිම සාධාරණය ලෙස කිසියම් කෙනෙකු සිතනවා නම් එය නිවැරදි නොවන බව අවධාරණය කළා ය. සමර තොරතුරු හෙළි කිරිම එම පවුලට, ජීවත්වන්නන්ට පමණක් නොව අපරාධයට ගොදුරු වූ වින්දිතයාටත් කරන බරපතළ හානියක් වන බව ද ඇය පැවසුවාය.
රජයක් ලෙස ප්‍රධානතම වගකීම හැකි තරම් සියදිවි හානිකර ගැනීම් අවම කරන සමාජයක් නිර්මාණය කිරිම බවත්, ඊට අවශ්‍ය දේශපාලන, ආර්ථික, මානසික, සමාජ විද්‍යාත්මක පදනම සැකසීම වැනි දිර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසූවාය.
මාධ්‍ය හැසිරවීමේ දී ආචාරධර්ම රැකීම පිළිබඳ වැඩකටයුතු කිහිපයක් සිදු කරගෙන යන බවත්, ජතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරියේ දී ගෙන ඒ්මට නියමිත බවත්, මාධ්‍යවේදීන් සඳහා වන වෘත්තීය වරලත් ආයතනය ගැසට් කර ඇති බවත්, මෙම වැඩපිළිවෙළ මගින් මාධ්‍යවේදීන්ගේ පුහුණු කිරිම් සහ අයිතිවාසිකම් මෙන්ම වෘත්තීය මාධ්‍යවේදියෙකු බිහි කිරිම සඳහා එම ආයතනයෙන් ඉදිරියේ දී වැඩකටයුතු සිදු කිරිමට නියමිත බව ද පැවසුවා ය.
මාධ්‍ය ද රටේ පවතින අනෙක් සියලු ම ආයතන, රැකියා මෙන් රජයේ පවතින නීතියට සහ ආචාර ධර්මවලට ගරු කළ යුතු බව ද යහපත් මාධ්‍ය කර්මාන්තයේ දී මාධ්‍යවලට අයිතිවාසිකම් ලබාදීම මෙන්ම මාධ්‍යවල වගකිම් සහ යුතුකම් ද මතක් කර දීම අත්‍යාවශ්‍ය බව ද ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙහි දී වැඩිදුරටත් පැවසුවාය.
මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය එල්.එන්. මාගොඩරත්න මෙරට සියදිවි නසාගැනීම් පිළිබඳ වත්මන් දත්ත සහ ඊට බලපානු ලබන පසුබිම ඉදිරිපත් කළා ය.
එමෙන්ම සියදිවි නසාගැනීමක් මාධ්‍ය මගින් වාර්තා කරන හෝ නිර්මාණශීලීව ඉදිරිපත් කරන ආකාරය අනුව සමාජයට සිදු කරන අහිතකර මානසික බලපෑම (Suicide portrayal) පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර විසින් මෙහිදී කරුණු පැහැදිලි කරන ලදි.
සියදිවි නසාගැනීම් වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් සඳහා විද්‍යාත්මක සහ ප්‍රායෝගික මාර්ගෝපදේශ සහ මාධ්‍ය මඟින් මෙවැනි පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කළ යුතු සදාචාරාත්මක රීතීන් පිළිබඳව ජනාධිපති මාධ්‍ය උපදේශක (Presidential Media Advisor) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් ද මෙහිදී විශේෂ දේශනයක් පවත්වන ලදී.
වැඩමුළුව අවසානයේ සියදිවි නසාගැනීම් සහ ඒ ආශ්‍රිත සිදුවීම් වගකීම් සහගත වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් විවෘත සංවාද මණ්ඩපයක් (Open forum discussion) පැවැත්විණි.
එහිදී සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී මාධ්‍ය ආයතන වඩාත් සැලකිලිමත් සහ වගකීම් සහගත විය යුතු බවත් වැරදි ලෙස පුවත් පළ කිරීමෙන් තවත් කෙනෙකු එම ක්‍රියාවට පෙළඹිය හැකි බැවින් සියලුම මාධ්‍යවේදීන් සියදිවි නසාගත් ආකාරය සවිස්තරාත්මකව වාර්තා නොකිරීම, සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප, වීඩියෝ හෝ අවසන් ලිපි ප්‍රසිද්ධ නොකිරිම, එවැනි පුවත් මුල් පිටුවේ හෝ ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරයක් දීමෙන් වැළකීම, සියදිවි නසාගත් පුද්ගලයා වීරයෙකු ලෙස හුවා නොදැක්වීම, පුවත අවසානයේ මානසික සහය ලබාගත හැකි උපකාරක සේවා අංක (උදා-1926) පැහැදිලිව සඳහන් කිරීම, හැඟීම් අවුස්සන වචන වෙනුවට ඉතා සරල සහ සංවේදී භාෂාවක් භාවිතා කිරීම, පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන සිතා කටයුතු කිරීම. මානසික පීඩනයකදී උදව් ඉල්ලන්නේ කෙසේද යන්න ගැන සමාජය දැනුවත් කිරීම වැනි සදාචාරාත්මක නීති අනුගනය කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත් කුමාර තෙන්නකෝන් යන අය ද එක්ව සිටියහ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
