Image

තෙල් මිල පහළට...?

තෙල් මිල පහළට...?

එක්සත් ජනපද - ඉරාන අතුරු සාම ගිවිසුම අත්සන් තැබීමත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් බැරලයක මිල අද (18), ඇමෙරිකානු ඩොලර් 2කින් පහළ වැටු‌ණේ ය. ගැටුම් අවසන් කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර, ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීමේ අරමුණින් එම ගිවිසුම ක්‍රියාත්මක ය.

බ්‍රෙන්ට් බොරතෙල් ඉදිරිය ඇමෙරිකානු ඩොලර් 2.14කින් එනම්, 2.69%කින් පහළ ගිය අතර, ග්‍රිනිච් වේලාවෙන් 0616ට එම බැරලයක මිල ඩොලර් 77.41ක් ලෙස සටහන් විය. එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් අතරමැදි ඉදිරිය ද ඩොලර් 2.36කින් එනම්, 3.07%කින් පහළ වැටුණි. එම බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.43ක් ලෙස සටහන් විය.

ඉරාන නායකයින්, ගිවිසුමට අනුගත නොවේ නම්, යළි පහර දෙන බවට ඊයේ (17), ජනපති ට්‍රම්ප් තර්ජනය කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොළ තිගැස්සී ගිය ද, පසුව එම බිය පහ විය.

එක්සත් ජනපද - ඉරාන අතුරු ගිවිසුමට කරුණු 14ක් ඇතුළත් ය. ගැටුම් තිරසර ව අවසන් කිරීම පිණිස, දින 60ක සාකච්ඡා කාලයක් වෙන්ව පවතී. එම කාලය තුළ නිදහස් නෞකා ගමනාගමනයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත ව තැබේ. ඉදිරි දින 30 ඇතුළත එහි බලශක්ති සහ අනෙකුත් වෙළඳ නෞකා ගමනාගමනය පෙර පැවති උපරිම ධාරිතාවයට ලඟා වෙතැයි අපේක්ෂා කෙරේ.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි සාකච්ඡා වටයේ ප්‍රධාන මාතෘකාව වේ. යුද්ධයෙන් ඉරානයට සිදු වූ හානි පූර්ණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක වැඩසටහනක් ද යෝජිතව තිබේ. එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ඒ පිලිබඳ ඉදිරි තීරණ වෙත එළැඹෙනු ඇත.

කෙසේ වෙතත්, නව අතුරු ගිවිසුම පිළිබඳ තවමත් විශ්වසනීයත්වය තහවුරු නොවූ පසුබිමෙක, ඇතැම් බලශක්ති නෞකා හිමියන්, එම තොග රැගෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත පිවිසීමට මැළිව සිටී. එබැවින්, සැපයුම අභිබවා යන ඉල්ලුම තව කලක් රඳා පවතිනු ඇතැයි, එම ක්ෂේත්‍රයේ විශේෂඥ මතය ය.

සටහන - හර්ෂ උදයකාන්ත පීරිස්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න