Image

කාදිනල් හිමිපාණන්ට අමතක වුණ කාරණය චාමර විජේසූරිය හෙළි කරයි

කාදිනල් හිමිපාණන්ට අමතක වුණ කාරණය චාමර විජේසූරිය හෙළි කරයි

මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දෙදෙනක් මේ වන විට එම විමර්ශන මෙහෙයවමින් සිටින බව කාදිනල් හිමිපාණන්ට අමතක වී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ මාධ්‍ය ජනමාධ්‍යවේදීන් සංගමයේ විධායක සභික චාමර විජේසූරිය පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චාමර විජේසූරිය...  

පරීක්ෂණයක් නොකළ කටඋත්තරය

''එතුමා පැහැදිලිවම කියන කාරණයක් තමයි බිමල් රත්නායක මහත්තයා කියපු කතාව බොරුවක් කියලා. පාර්ලිමේන්තුවේ සභානායකවරයා මුළු පාර්ලිමේන්තුවම නියෝජනය කරමින් ඒක පට්ටපල් බොරුවක් කියලා කියනවා නම්, එතන තියෙන විශ්වාසනීයත්වය මොකක්ද? හැබැයි මේකෙ දි මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට එක කාරණයක් අමතක වුණා.  මේ වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව ඊට කලින් විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දෙන්නෙක් තමයි මේ විමර්ශන කරන්නේ කියන කාරණය ගැන අපි ගිය සතියෙත් කිව්වා. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ සහරාන් ගේ බිරිඳ ගේ සහෝදරයා (මස්සිනා) වැලිකඩ බන්ධනාගාරයේ සිට ලබා දුන් කටඋත්තරය යි. මේ හැමදේම කුඩා පොතක සටහන් කර ඩයස් මහතාට සහ නන්දන මහතාට ලබා දුන්නත්, ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදුවී නැහැ.

මෙච්චර සාක්ෂි තිබියදීත් ඇයි නඩු පවරන්නේ නැත්තේ...?

අපි ගිය සතියෙත් කිව්වේ මේ ඩයස් මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිස 'අති රහසිගතයි' යනුවෙන් සඳහන් කරමින් එම ලිපිය පහළ මට්ටමේ විමර්ශන නිලධාරීන්ට ලබා නොදුන් බවයි. ඉන්පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එය යොමු කර තිබුණත්, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එය භාර ගැනීමට බියක් දක්වා තිබෙනවා. මෙච්චර සාක්ෂි තිබියදීත් ඇයි නඩු පවරන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ශානි අබේසේකර ඇතුළු දෙදෙනාට එරෙහිව නඩුවක් තිබුණා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව CID එකට දැනුම් දුන්නේ එම නඩුව ඉල්ලා අස්කරගෙන එය යටපත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඉන්පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවටත් නීතිපතිවරයා ලබා දුන් උපදෙස වුණේ එම ගොනුව වහාම වසා දැමීමට කටයුතු කරන ලෙසයි. ශානි අබේසේකර මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තිබූ නඩුවටත් නීතිපතිවරයාගෙන් ලැබුණේ නඩුව වසා දමන ලෙස දන්වන ලිපියක්. මේ සියල්ල මැද, නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (FR) හෝ නඩුවක් ගොනු කළහොත්, මේ දෙන්නා ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන ඇති බව පවසමින් කරුණු ඉදිරිපත් කර නඩුව වෙනතකට හැරවීමට කටයුතු කරනවා.

මෙහි යම්කිසි අමුත්තක් සිදුවන බව පැහැදිලි වන අතර, මේ රටේ ජනතාවට මෙවැනි පසුබිමක විශ්වාසයක් තැබිය හැකිද? මේ රජය පවතින තාක්කල් සහ වයස අවුරුදු 65 ඉක්මවූ CID ප්‍රධානියා ඇතුළු ඉහළ නිලධාරීන් ක්‍රියා කරන ආකාරය දෙස බැලීමේ දී, පසුගිය දිනවල මානව හිමිකම් කොමිසම ඉදිරියේ CID එක කටයුතු කළ ආකාරයෙන්ම ඉදිරියටත් සිදුවන දේ පැහැදිලි වෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න