මෙය පොලිස් රාජ්‍යයක් බවත්, එය ආඥාදායකත්වයක් කරා යන ගමන් කරන බවත්, අප සැමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් අයිතීන් තිබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂය සංවිධානය කිරීමේ නිදහස ද පවතින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස්...
සුගීෂ්වර අත්අඩංගුවට ගැනීම සාපරාධී වරදක්
''අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය භාරව සිටින නිලධාරීන් හමුවීමට ගියා. ඉන්ධන සම්බන්ධයෙන් අප රටේ ජනතාවට ලබා දී තිබෙන සහනාධාර කප්පාදු කිරීමට හෝ සම්පූර්ණයෙන් නතර කිරීමට රජයට උපදෙස් දෙන්නට එපා යැයි අප එහිදී ඉල්ලා සිටියා. එය කලොත් ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යන බව ද අප දැනුම් දුන්නා.
අප මූල්‍ය අරමුදල සමග කළේ ඉතා කාලෝචිත සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් දවස් දෙකකට පසුව මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් අප රටට පැමිණියා. අප එතනින් නික්ම යන විට හරි පුදුම දෙයක් සිදු වුණා. සුගීෂ්වර බණ්ඩාර මැතිතුමා අත්අඩංගුවට ගත්තා. පාර හරස් කර සුගීශ්වර බණ්ඩාර වාහනයෙන් එළියට ගෙන අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ හරියට පාතාල කල්ලියක් මර්දනය කිරීම සඳහා කළ මෙහෙයුමක් ආකාරයටයි. සුගීශ්වර බණ්ඩාර කියන්නේ සාහසික අපරාධකාරයෙක් නොවේ. දේශපාලන පක්ෂයක නායකයෙක්. අපගේ දැඩි විවේචනයට ලක්වන කාරණය වන්නේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ ආකාරයයි. රජයේ පොලිසිය පාවිච්චි කරලා ඔවුන් මේ විදිහට හැසිරුණා. ඒ වගේම සුගීශ්වර බණ්ඩාර මහතා සමග ඒ වාහනයේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක බිනෝයි හෙට්ටිආරච්චිත් අත්අඩංගුවට ගත්තා. ඔහු කිසිම චෝදනාවක් නැතුව පැය පහක් හිර කරගෙන සිටියා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒ අත්අඩංගුවට ගැනීම සාපරාධී වරදක්. ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පැවරීමට අවශ්‍ය පසුබිම අප දැනටමත් සකස් කරගෙන යනවා. මේ පුද්ගලයකුට සම්බන්ධ දෙයක් නොවේ. මේ අපේ සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකම්. මෙය අප චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට සෘජුව බලපාන කාරණයක්. මෙය පොලිස් රාජ්‍යයක්, ආඥාදායකත්වයක් කරා යන ගමනක් බව කිව යුතුයි. අප සැමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් අයිතීන් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂය සංවිධානය කිරීමේ නිදහස තිබෙනවා. මෙවැනි දේ තවත් ඉදිරියට ඇතිවීමට අවසර ලබා දෙනවා නම් නිශ්ශබ්දව බලා සිටිනවා නම් අවම වශයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් අතු ගෑවී යනවා.
ලබන වසරේ යුරෝපා සංගමයට අලුත් අයැදුම් පත්‍රයක් යොමු කිරීමට සිදුවෙනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන වැඩසටහන එන වසරේ මාර්තු මාසයේ අවසන් වෙනවා. විදේශ විනිමය ලබා ගැනීම සම්බන්ධයෙන් අද බොහෝ බැරෑරුම් ප්‍රශ්නයක් තිබෙනවා.සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙන විදේශ විනිමය මැයි මාසයේ පමණක් සියයට පහකින් අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් නොයෙක් දුක් ගැහැට වලට ලක් වෙමින් අප රටට එවන ඩොලර් විශාල ලෙස අඩුවී තිබෙනවා. අපගේ අපනයන ආදායම ඉතා වැදගත් දෙයක්.අපනයන භාණ්ඩ විදේශයන්ට යවා ලැබෙන අපනයන ආදායම පවතින තත්ත්වය තුළ තීරණාත්මක වැදගත්කමකින් යුක්තයි. බටහිර යුරෝපයේ අපේ විශාල වෙළඳ පොළවල් තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ බටහිර යුරෝපයේ වෙළඳ පොළවලට යැවීම සම්බන්ධයෙන් අපට අසාමාන්‍ය සහන සහ වරප්‍රසාද තිබෙනවා.ඒ gsp ප්ලස් වැඩපිළිවෙළයි. අපේ සියලු අපනයන භාණ්ඩ කිසිදු තීරු බද්දක් ගෙවන්නේ නැතිව බටහිර යුරෝපයේ වෙළෙඳපොළට යැවීමේ අයිතිය එමගින් අපට ලැබෙනවා. ඇඟලුම් භාණ්ඩ, තේ, මත්ස්‍ය නිෂ්පාදන, මුතු මැණික්, සම් භාණ්ඩ, කුළු බඩු ඇතුළු මේ සියල්ල සඳහා මේ සහනය අදාළ වෙනවා. ලබන වසරේ යුරෝපා සංගමයට අලුත් අයැදුම් පත්‍රයක් යොමු කිරීමට සිදුවෙනවා. මේ අද්විතීය සහන අපට ලැබෙන්නේ එක් මූලික කොන්දේසියකට යටත්වයි.එනම් ජාත්‍යන්තර සම්මුති 27කට අනුගතව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. මේ සම්මුති වලින් ප්‍රධාන සම්මුතිය වන්නේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යි.
යෝජිත පනත මුල් පනතට වඩා අහිතකරයි
යුරෝපා සංගමයේ නියෝජනය කරන තානාපතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ පවසන්නේ ත්‍රස්ත විරෝධී පනත මේ විදියටම ක්‍රියාත්මක කරනවා නම් අප අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතිවල වගන්ති අමු අමුවේ උල්ලංඝනය වන බවයි. එහෙම වුණොත් ජී. එස්. පී ප්ලස් සහනය ලබාදීමට යුරෝපා සංගමයට පුළුවන්කමක් ඇති වන්නේ නැහැ. ඒ නිසා ත්‍රස්ත විරෝධී පනත සුදුසු සංශෝධනවලට බඳුන් කළ යුතුයි. දැන් පවතින්නේ ඉතා පැරණි පනතක්. අලුත් පනතක් නිර්මාණය කරන බවට මා විදේශ අමාත්‍යවරයා ලෙස සිටිය දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලිඛිත පොරොන්දුවක් දුන්නා. මාස හයකට පෙර වත්මන් අධිකරණ අමාත්‍යවරයා අලුත් පනතක් ඉදිරිපත් කළා. ඊට හැම පැත්තෙන්ම දැඩි විවේචන එල්ල වුණා. ඒ යෝජිත පනත මුල් පනතට වඩා අහිතකර බව ඒ විවේචනවලින් කියැවුණා. මේ පනත නීතිඥයින්, සිවිල් සමාජය සහ වෘත්තිකයින් ගේ දැඩි විවේචනයට ලක් වූ පනතක් බව කිව යුතුයි. මේ පනත මේ විදියට නීති ගත කරන්න බැරි බව ආණ්ඩුව පිළිගත්තා. ඒ අනුව වෙන පනතක් සකස් කරන බව ආණ්ඩුව කිව්වා.
ලබන මාස දෙක ඇතුළත අලුත් පනත ඉදිරිපත් කරනවා යැයි අධිකරණ අමාත්‍යවරයා කිලිනොච්චියට ගිහින් පැවසුවා.ඒ අලුත් පනතේ අන්තර්ගතය කුමක්ද කියා අප කිසිම කෙනෙක් දන්නේ නැහැ.මාස හයකට පෙර ඉදිරිපත් කෙරුණු පනත සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණේ සමාජය සමග පුළුල් කතිකාවක් නොතිබූ නිසයි.සියලු දෙනාගේ අදහස් උදහස් වලින් පෝෂණය වූ ජාත්‍යන්තර නීතියට අනුකූල පනතක් අවශ්‍ය වෙනවා.මේ පනත හරියට ඉදිරිපත් කළේ නැතොත් ජී.එස්.පී ප්ලස් වරප්‍රසාද අවදානමට ලක් වෙනවා. එහෙම වුනොත් මේ මොහොතේ ශ්‍රී ලංකා ආර්ථිකයට දරාගන්න බැරි පාඩුවක් සිදුවෙනවා.
එක්සත් ජාතීන්ගේ අනු කමිටුවක් මේ වන විට ලංකාවට පැමිණ තිබෙනවා
ශාරීරික වද හිංසාවලින් තොරව අපේ ජීවිත ගත කිරීමට ජාත්‍යන්තර නීතිය අනුව සැමට අයිතියක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මුති තිබෙනවා. මේවාට අනුගත වීමේ නීතිමය බැඳීමක් ශ්‍රී ලංකාවට තිබෙනවා. ශාරීරික වද හිංසා පිළිබඳ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කර වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ අනු කමිටුවක් මේ වන විට ලංකාවට පැමිණ තිබෙනවා. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද ශාරීරික වද හිංසා එක හෙලා නීති විරෝධී බව දක්වා තිබෙනවා. රැඳවියන්ටත් මේ අයිතිය තිබෙනවා. බන්ධනාගාර සහ පොලිසිය භාරයේ සිටින සියලු රැඳවියන්ටත් ඒ රැකවරණය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිද පවතිනවා. ඒවා උල්ලංඝනය කළොත් ලංකාවට භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
