සාමාන්‍ය මිනිස්සු ලෙස පැමිණ බලය ලබාගත් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම අසාමාන්‍ය මිනිස්සු බවට පත්වී ඇතැයි තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් සේනානායක...
වර්තමාන ආණ්ඩුව භාණ්ඩවල මිල සියයට 20 ත් 23 ත් අතර වැඩි කරලා
''සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඡන්දය මංකොල්ල කා, අසාමාන්‍ය ලෙස හැසිරෙන පාලකයන් පිරිසක් අද රට පාලනය කරනු ලබනවා. ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීමට පෙර සාමාන්‍ය ජනතාව සමඟ සුවදශිලිව කටයුතු කළා. ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ සාමාන්‍ය මිනිස්සු බව ජනතාවට පෙන්වන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරු උත්සහ කළා. ඒ වගේම වංචාවට , දුෂණයට විරුද්ධ , විනිවිධභාවයෙන් වැඩ කරන පිරිසක් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සිටින බව පෙන්වන්න ඔවුන් දැඩි උත්සාහයක් ගනු ලැබුවා. කෙසේ නමුත් සාමාන්‍ය මිනිස්සු ලෙස පැමිණ බලය ලබාගත් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම අසාමාන්‍ය මිනිස්සු බවට පත්වී තිබෙනවා. ගොවී ජනතාවට අද රුපියල් 80 ත් 85 ත් අතර මිලකට වී විකුණන්න සිද්ධ වෙලා තිබෙනවා. රුපියල් 110 න් උඩ වී විකුණා ගැනීමට ගොවීන්ට නොහැකි වී තිබෙනවා. ගොවීන්ගේ වීවලට සහතික මිලක් නොදී ගොවීන් අන්ත අසරණභාවයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නමුත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහන ලබාදී ඔවුන්ව පොහොසත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම මගී ජනතාවට සාධාරණයක් කරන්න ජාතික ජනබලවේග රජය යටතේ කටයුතු කරන බවත් අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළා. මගීන්ට සාධාරණයක් කරන බව පැවැසූ ආණ්ඩුව අධි සුඛෝපභෝගි වාහන ගෙන්වන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙන් බදු අය නොකර ධනවතුන්ගෙන් බදු අය කරගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් භාණ්ඩයක මිල සියයට 20 ත් 23 ත් අතර වැඩි කළේ වර්තමාන ආණ්ඩුව. ඒ වගේම ධන කුවේරයන්ගෙන් බදු අය නොකර වැඩකරන ජනතාව පීඩාවට පත් කරමින් බදු අයකර ගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
රුපියල්වලින් අතිරික්තයක් තිබුණට ණය ගෙවන්න බැහැ
සියයට 18 වැට් බද්ද පුලුල් කිරීමේ න්‍යායෙන් ආණ්ඩුව රුපියල් එකතු කිරීමේ කටයුත්තක නිරත වෙලා සිටිනවා. කෙසේ නමුත් සියයට 18 බද්ද පැනවූ පසු ධන කුවේරයන් ගෙවන්නෙත් සියයට 18 ක බද්දක් , සාමාන්‍ය ජනතාව ගෙවන්නෙත් සියයට 18 ක බද්දක්. මෙම ක්‍රමය සාධාරණද? සාමාන්‍ය ජනතාවගේ ප්‍රමාණය වැඩි නිසා ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්න කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් මේ වනවිට ධන කුවේරයන් ගේ සහ සාමාන්‍ය ජනතාව අතර ආදායම් සහ ඉතුරුම්වල විශාල පරතරයක් මේ නිසා ඇතිවී තිබෙනවා. ඉතුරුම් නැති වූවාට පසු ක්‍රය ශක්තිය නැතිවී යනවා. ඒ වගේම බදු අය කිරීම හරහා ඉහළ ධනවතුන්ට ආදයම් අනුව වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් වැඩ කරන ජනතාව ගේ ආදායම වැඩි නොවන නිසා වියදම් අඩු කර ගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා වැඩ කරන ජනතාව ගේ අත්‍යාවශ්‍ය වියදම් මේ හේතුවෙන් කප්පාදු කරන්න සිදුවී තිබෙනවා. කෙසේ නමුත් සමාජ සාධාරණත්වය ඇති කරන බව කියු ආණ්ඩුවට අද සමාජ සාධාරණත්වය ඇති කරන්න නොහැකි වී තිබෙනවා. ආණ්ඩුවට මුදල් ලබා දෙන ජාත්‍යන්තර ආයතන පිනවීම සඳහා දර්ශක පමණක් පෙන්වන ආණ්ඩුවක් බවට ජාතික ජනබලවේග ආණ්ඩුව අද පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. දිට්වා සහ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ආර්ථිකයට වුණ බලපෑම යථාතත්ත්වයට පත් කරන්න ආණ්ඩුව අපොහොසත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. මහජනතාව පීඩාවට පත් කර රුපියල්වලින් අතිරික්තයක් පෙන්වන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රුපියල්වලින් අතිරික්තයක් තිබුණාට ණය ගෙවීම් සිදුකළ නොහැකියි.
ආණ්ඩුවට රටේ සාමාන්‍ය ජනතාව පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැහැ
2026 වනවිට විදේශ සංචිත ප්‍රමාණය බිලියන 8.6 ක් තිබිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. 2027 බිලියන 11 .7 ක් , 2028 බිලියන 13.9 ක විදේශ සංචිත ප්‍රමාණයක් රට තුළ තිබිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නයට විසඳුමක් සොයලා නැහැ. නමුත් මහජනතාව පීඩාවට පත් කරමින් බදු අයකරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව සතුව රුපියල් තිබෙනවානම් රටේ ජනතාව මෙතරම් දුක් විදින්නේ කෙසේද? ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිනවීම සඳහා අධික බදු අයකරමින් ජනතාවට පීඩාවට පත් කරන්න කටයුතු කර තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් බව ඉන්පසු පෙන්වන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. නමුත් රටේ ජනතාව ආර්ථික වශයෙන් විශාල දුකක් විදිනවා. ආණ්ඩුවට රටේ සාමාන්‍ය ජනතාව පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැහැ. බලය රැක ගැනීම සඳහා රටේ සාමාන්‍ය ජනතාව පාවා දිලා , සාමාන්‍ය ජනතාවගේ බෙල්ලෙන්ම හිරකරලා සාමාන්‍ය ජනතාවට පීඩාවට පත් කිරීම පමණයි ආණ්ඩුව සිදුකරන්නේ. ආණ්ඩුවේ සිටින්නේ වැඩක් කිරිමට නොහැකි , පරිපාලනමය දැනුමක් නැති, දුර්වල කළමනාකාරිත්වයක් තිබෙන පිරිසක්. ඔවුන් ජනතාවට මුළාවට පත් කරලයි ඡන්දය ලබාගත්තේ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ කරන්න පුළුවන් දෙවල් සහ බැරි දේවල් ගැන ආණ්ඩුවට පුරෝකථනයක් සිදුකරන්න තිබුණා. නමුත් ඔවුන් එසේ සිදුකළේ නැහැ. කෙසේ හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ තිබෙන දේවල් පිළිබඳව සත්‍ය රටට හෙළි කරන්න සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ සමයේදී කටයුතු කරනු ලැබුවා. අවසානයේදී ඇත්ත රටට හෙළි කළ පුද්ගලයා පරාජය කරලා ජනතාව මුලාවට පත් කළ පුද්ගලයාව සුලුතරයකින් ජනාධිපති කරන්න රටේ ජනතාව කටයුතු කරනු ලැබුවා.
රට කරගෙන යන්න බරි නම් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න
ජාතික ජනබලවේග ආණ්ඩුවට බදු මිල අඩු කරන්න , ඉන්ධන මිල අඩු කරන්න , භාණ්ඩ මිල අඩු කරන්න හැකියාවක් නැහැ. ආණ්ඩුව හැකියාව තිබෙන්නේ ජනතාවට පීඩාවට පත් කරලා රුපියල් එකතු කරන්න පමණයි. නමුත් රුපියල් එකතු කරලා රට ශක්තිමත් මාර්ගයක ගෙනියන්න බැහැ. ඉන්ධන මිල වැඩි කිරීම හරහා සාමාන්‍ය ජනතාව ගන්නා ආහාරවල මිල ගණන් ඉහළ යනවා. මගි ප්‍රවාහන , භාණ්ඩ ප්‍රවාහන මිල ඉහළ යනවා. මේ හරහා රටේ උද්ධමනය වැඩි වෙනවා. පොලී අනුපාත වැඩි වෙනවා. ගල් අඟුරු වංචාව නිසා රටට බිලියන 18 ක ඩීසල් ගෙන්වන්න සිදුවී තිබෙනවා. මේ නිසා විශාල ආර්ථික හානියක් සිදුවෙනවා. රටේ නැවත ජනතා අරගලයක් ඇති කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. ජනතා මතය බැලීම සඳහා මැතිවරණයක් පවත්වන ලෙසයි සමගි ජනබලවේගය ඉල්ලා සිටින්නේ. ආණ්ඩුවට රට කරගෙන යන්න නොහැකි නම් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදීව රට කරගෙන යන්න නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතුයි. පනතක් ගෙනැවිත් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනතාව රට ඉදිරියට කරගෙන යා හැකි කණ්ඩායම තෝරා ගනියි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
