ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට බලයට පැමිණිමට සහාය දුන් ගොවීන්ට ආණ්ඩුව දැන් කසිප්පුකාරයේ ලෙස ආමන්ත්‍රණය කරන්නේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කින්ස් නෙල්සන්...
ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධව ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවට පාරට බහිනවා
''රටේ ගොවීන් සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත සහ නියෝජ්‍ය ඇමැති ටී බී සරත් සිදුකළ ප්‍රකාශ හරහා ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ගොවීන්ගේ වී සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර තිබුණා. එම ගොවි උද්ඝෝෂණවලට සම්බන්ධ වුණේ කසිප්පුකාරයන් බව ටී. බී. සරත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීමට පෙර ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල හඬක් නැගුවා. වී සඳහා අනිවාර්යෙන්ම සහතික මිලක් බලය ලබාගත් පසු නියම කරන බවත් ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. කෙසේ හෝ ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට බලයට පැමිණිමට සහාය දුන්න ගොවීන්ට කසිප්පාකාරයා ලෙස ආමන්ත්‍රණය කරනවා. විනාශකාරි වුණ රටක්, බංකොලොත් රටක් භාරගත් බව ආණ්ඩු පාර්ශ්වය දැන් ප්‍රකාශ කරනවා. ආණ්ඩුව විසින් බලය ලබා ගැනීමට පෙර ඒ බව දැනෙගෙන සිටියේ නැද්ද? කෙසේ නමුත් එක පෑන් පහරකින් රට ස්ථාවර කරන තීන්දු තිරණ ගැනීමට හැකි බවයි ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළේ. නමුත් බලය ලබාගත් පසු ආණ්ඩුව සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් ප්‍රකාශ කරනවා. ඒ වගේම ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධව ජනතාව පාරට බස්සන්න සමගි ජනබලවේගය කිසිසේත් කටයුතු කරන්නේ නැහැ. නමුත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධව ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවට පාරට බහින්න කටයුතු කර තිබෙනවා.
යල කන්නයේ අස්වැන්න ලබා ගැනීමේ දී ගොවීන්ට සාධාරණයක් කරන්න
රුපියල් 120 වී ගොවීන්ගෙන් වී ලබා ගන්නා බව රජය ප්‍රකාශ කළා. ඒ නිසා ගොවීන්ගේ වී රජයට ලබා දෙන ලෙස රජය ගොවීන් ගෙන් ඉල්ලීමක් සිදු කළා. නමුත් ගොවීන් ගේ වී මිලදී ගන්න රජය දැන් සූදානම් නැහැ. අද වනවිට වී වලට සාධාරණ මිලක් නියම කරන්න රජය අපොහොසත් වෙලා තිබෙනවා. යල කන්නයේ දී වේළපු වී ලබා ගන්නේ රුපියල් 80 ට සහ 85 ට. ඒ වගේම තෙත වී රුපියල් 60 ත් 65 ත් අතර මිලකටයි මිලදී ගන්නේ. කෙසේ නමුත් හාල් ඇටයක්වත් රටට ආනයනය කරන්නේ නැති බව ආණ්ඩුව දිගින් දිගට ම ප්‍රකාශ කළා. නමුත් පිටරටින් සහල් ගෙන්වන්න ආණ්ඩුව කටයුතු කළා. ඒ නිසා ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන, රටේ ජනතාවට බත සපයන ගොවියාට අද විශාල පහරක් ආණ්ඩුව විසින් එල්ල කර තිබෙනවා. බලය ලබා ගැනීට පෙර ගොවීන් වෙනුවෙන් කතා කළ ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගත් පසු ගොවීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. කෙසේ නමුත් ගොවීන්ට දුන්න පොරොන්දු වහාම රජය ඉටු කළ යුතුයි. ඒ වගේම ඉන්ධන මිල, යන්ත්‍ර සූත්‍රවල මිල ගණන් සමග හෙක්ටයාරයක් වගා කරන්න ලක්ෂ තුනකට වැඩි මුදලක් වියදම් වෙලා තිබෙනවා. කෙසේ නමුත් රුපියල් 93ට වී මිලදී ගත්තත් ගොවීන්ට වැය වුණ මුදල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබෙනවා. තවදුරටත් ගොවීන්ට මේ ආකාරයේ කුඩම්මා ගේ සැලකිල්ලක් දැක්වුවහොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වේවි. ගොවීන්ට තිබෙන ගැටලු ඉදිරිපත් කරන්නවත් ආණ්ඩුව අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. අවම වශයෙන් වීවලට රුපියල් 140 කවත් සහතික මිලක් යල කන්නයේ දී ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. රුපියල් 120 ක් වී කිලෝවක් සඳහා ප්‍රමාණවත් නැහැ. යල කන්නයේ අස්වැන්න ලබා ගැනීමේ දී ගොවීන්ට සාධාරණයක් කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව හදන්න පෙරමුණ ගත්ත පිරිස අද ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා
ගොවී සංව්ධාන කැඳවන රැස්වීම්වලට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහභාගි වෙන්න ආණ්ඩුව අවස්ථාවක් ලබා දිලා නැහැ. ඒ නිසා ගොවීන් වෙනුවෙන් කතා කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තුව පමණයි. ගොවීන් ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බහින්න සමගි ජනබලවේගය සුදානම් වෙනවා. ආණ්ඩුව ගොවීන්ගේ වීවලට සාධාරණ මිලක් ලබා නොදුන්නහොත් සියලු ම ගොවී සංවිධාන සමග එකතු වෙලා කොළඹට ඇවිත් දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරනවා. අතේ තිබුණ සියලු ම මිල මුදල් යොදවලයි ගොවීන් යල කන්නය වගා කළේ. ඒ නිසා ගොවීන්ට සාධාරණයක් ඉටු නොවුණහොත් ගොවීන්ගේ ඉඩකඩම් පවා විකුණන්න සිද්ධ වෙනවා. ගොවීන්ගේ ගැටලුවලට ආණ්ඩුව සවන් දෙන්නේ නැතිනම් ගොවීන් වෙනුවෙන් සමගි ජනබලවේගය පාරට බහිනවා. ගොවි උද්ඝෝෂණවලට සහභාගිවන ගොවීන් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එවැනි දෙයක් ආණ්ඩුව සිදුකරන්නේ කෙසේද? ගොවීන්ට තර්ජනය කරනවා. ආණ්ඩුවේ කටයුතු නිසා ගොවීන් කුපිත වුණොත් ආණ්ඩුවට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවේවි. රටේ සියලුම ගොවී සංවිධාන සමගි ජනබලවේගය සමග සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේ ම වත්මන් කතානායකවරයා ගේ සහෝදරයා හිගුරක්ගොඩ ගොවි සංවිධානයේ සභාපතිවරයා. ඔහුත් ගොවීන් ගේ උද්ඝෝෂණවල පෙරමුණ ගෙන කටයුතු කරනවා. කෙසේ නමුත් ගොවීන් ගේ සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් ආණ්ඩුව සවන් දිය යුතුයි. එය සිදුනොකළහොත් සිද්ධවෙන දේ ආණ්ඩුවට ඉදිරියේදී බලාගැනීමට හැකියාව තිබෙනවා. ආණ්ඩුව හදන්න පෙරමුණ ගත්ත පිරිස අද ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා තිබෙනවා.
75 වසරක සාපයක් රට තුළ තිබු බවට කියන කතා ආණ්ඩුවට මීට පස්සේ කියන්න බැහැ
ආණ්ඩුව විසින් අලුත් රුපියල් 2000 නෝට්ටුවක් මුද්‍රණය කර තිබෙනවා. මුදල් ඇමැතිවරයා ලෙස අනුර දිසානායක ජනාධිපතිවරයා එම නොට්ටුවට අත්සන් කර තිබෙනවා. 75 වසරක සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය ලෙස එම නොට්ටුවේ සදහන් වෙනවා. රට තුළ 75 වසරක හොද ආර්ථික තත්ත්වයක් තිබුණ බව එහි සඳහන් වෙනවා. එවැනි නෝට්ටුවකට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් කර තිබෙනවා. ඒ නිසා මිට පසුව 75 වසරක සාපයක් රට තුළ තිබු බවට කියන කතා ආණ්ඩුවට මීට පස්සේ කියන්න බැහැ. ශ්‍රී ලංකාව 75 වසරක් හොද ස්ථාවරත්වයක තිබුණ බවට ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා. ඒ නිසා 75 සාපය පිළිබඳව කතාව වහාහ නතර කරන්නැයි ආණ්ඩුවෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් 75 වසරක කාලය තුළ රට විනාශ කරන්න කටයුතු කළ පිරිසයි අද ආණ්ඩු බලය ලබාගෙන තිබෙන්නේ. රට විනාශ කරපු පිරිසකට රටේ බලය ලබාදෙන්න කටයුතු කිරිම ගැන ජනතාව කණගාටු විය යුතුයි.
ආණ්ඩුව, ස්වාධීන අධිකරණයට බලපෑම් කරනවා
මැයි පළමු වැනිදා කම්කරු දිනය දා මැයි 25 ලබාදෙන නඩු තින්දුවක් පිළිබඳව කතා කළා. මැයි 25 වැනිදා තිබුණේ සමගි ජනබලවේග මන්ත්‍රී චමින්ද විජයසිරි මහතාට සම්බන්ධ නඩු කටයුත්ත යි. කෙසේ නමුත් ආණ්ඩුව අද අධිකරණයට පවා බලපෑම් කරන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. කෙසේ නමුත් චමින්ද විජයසිරි මන්ත්‍රීවරයාට වංචා දුෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ නැහැ. බහින් බස් වීමක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනාවක් එල්ල වුණේ. ඒ නඩුව සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයාට තින්දුවක් ලබා දෙන්න හැකියාවක් නැහැ. රටේ මහා පරිමාන වංචා දුෂණ චෝදනාවලට වැරදි කරුවන් වුණ පුද්ගලයන්ට වෙනම නීතියක්, අනෙකුත් පුද්ගලයන්ට වෙනම නීතියක් රජය ක්‍රියාත්මක කරනු ලබනවා. කෙසේ හෝ රජයට විරුද්ධව කතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ස්වාධීන අධිකරණයට බලපෑම් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නීති රිති උල්ලංඝනය වන ආකාරයටත් ආණ්ඩුව යම් අවස්ථාවලදී කටයුතු කරනු ලබනවා. එවැනි දේවල් මීට පෙර සිද්ධ නොවෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
