Image

ඉදිරි සතිය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට තවත් කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04ක්

ඉදිරි සතිය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට තවත් කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04ක්

මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කිරීමට නියමිතය.

හෘද රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය තවත් පුළුල් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් මත එම අමාත්‍යාංශය විසින් මෙම නව රසායනාගාර ස්ථාපිත කිරිමට කටයුතු සූදානම් කර ඇත. මෙම එක් කැත් රසායනාගාර ඒකකයක (Cath Lab) වටිනාකම රුපියල් මිලියන 300ක් වන අතර ඒ අනුව මෙම යන්ත්‍ර 4 සඳහා වැය කළ මුළු මුදල රුපියල් මිලියන 1200කි.

Capture2

ඒ අනුව ජුනි මස 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ ද, ජුනි මස 30 වන දින කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද, කැත් රසායනාගාරය බැගින් ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට නියමිත අතර, ජුලි මස 02 වන දින කොළඹ ජාතික රෝලේ කැත් රසායනාගාර 02ක් ද, හෘද රෝගී ප්‍රතිකාර සඳහා එක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මෙම වැඩසටහන සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්‌ මෙරට රෝහල් පද්ධතිය තුල අති නවීන Canon Alphenix Core+ Evolve Edition හෘද කැතීටකරණ පද්ධති (Cath Labs) හතරක් මෙලෙස ස්ථාපනය කෙරේ.

කැතීටකරණ පද්ධති (Cardiac Catheterization Laboratory – Cath Lab) යනු හෘදය සහ රුධිර නාල පද්ධතිය සම්බන්ධ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අති නවීන වෛද්‍ය පහසුකමකි.

මෙම ඒකකයේ දී හෘදයේ සහ රුධිර නාලවල තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂාව පරීක්ෂණ සිදු කරන අතර, හෘද ධමනි අවහිරතා ඉවත් කිරීම සඳහා ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර සහ ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම්, හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා හෘද විද්‍යුත් කායික පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රියාපටිපාටි ඇතුළු ජීවිතාරක්ෂක ප්‍රතිකාර රැසක් සිදු කරයි.

එමෙන්ම මෙම නවීන කැතීටකරණ පද්ධති (Cath Lab) මගින් විවෘත ශල්‍යකර්මයක අවශ්‍යතාවය අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත හා අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබේ.Capture1

මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේ දී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි. විශේෂයෙන් Cine රූපගත කිරීම් නොමැති ක්‍රියාපටිපාටිවලදී පවා ඉතා පැහැදිලි හා උසස් තත්ත්වයේ රූප ලබා දීම නිසා වෛද්‍යවරුන්ට වඩාත් ආරක්ෂිතව හා විශ්වාසදායක ලෙස සංකීර්ණ මැදිහත්වීම් සිදු කිරීමට හැකි වේ.

මෙම යන්ත්‍රවල සුවිශේෂී අංගයක් වන සජීවී ත්‍රිමාණ ස්ටෙන්ට් දෘශ්‍යකරණ තාක්ෂණය වන DDS තාක්ෂණය මගින් අතිරේක රූපගත කිරීම් අවශ්‍ය නොවී ෆ්ලුරොස්කොපි අතරතුරම ස්ටෙන්ට් ව්‍යුහයන් ඉතා ඉහළ විස්තරාත්මකත්වයකින් යුතුව ප්‍රදර්ශනය කරයි. මෙය රූපයේ ගුණාත්මකභාවය පවත්වා ගනිමින් විකිරණ මාත්‍රාව තවදුරටත් අඩු කිරීමට දායක වන අතර සංකීර්ණ Percutaneous Coronary Intervention (PCI) සහ හෘද ධමනි ස්ටෙන්ට් තැන්පත් කිරීමේ ක්‍රියාපටිපාටි සඳහා අවශ්‍ය කාලය ද සැලකිය යුතු ලෙස අඩු කරයි. තවද මෙම යන්ත්‍රවල ඇති විශේෂ පහසුකම් නිසා රෝගියාගේ ශරීරයේ ඕනෑම කොටසකට තත්පර කිහිපයක් ඇතුළත පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, එමගින් කාර්ය ප්‍රවාහය (Workflow) සහ සායනික කාර්යක්ෂමතාවය ද වැඩිදියුණු කරයි. එසේම මෙම යන්ත්‍ර මගින් වෛද්‍ය අවධානය යොමු කළ යුතු ප්‍රදේශයට පමණක් ඉහළ රූප ගුණාත්මකභාවයක් ලබා දෙන අතර, අවට පටක සඳහා අනවශ්‍ය විකිරණ නිරාවරණය අවම කරයි. මෙය විශේෂයෙන් සංකීර්ණ PCI සහ Coronary Stenting ක්‍රියාපටිපාටිවලදී විකිරණ පාලනය සඳහා ඉතා වැදගත් වේ.

මීට අමතරව, වීඩියෝ තිර පද්ධතිය මගින් විවිධ වෛද්‍ය රූපකරණ මූලාශ්‍ර කිහිපයක තොරතුරු එකම විශාල මොනිටරයක් මත ප්‍රදර්ශනය කළ හැකිය. එමගින් වෛද්‍ය කණ්ඩායමට විවිධ රූප එකවර නිරීක්ෂණය කර සංසන්දනය කිරීමට හැකි වන අතර, කැතීටකරණ පද්ධතිය තුළ වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චය සහ තීරණ ගැනීම සඳහා සහාය ලබා දෙයි.

මෙම හෘද කැතීටකරණ පද්ධති ඒකක (Cath Labs) 04ද, මෙරට රෝහල් පද්ධතියට එක්වීමත් සමග මෙරට රෝහල් පද්ධතියේ හෘදය සහ රුධිර නාල පද්ධතිය සම්බන්ධ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරමින් වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චය න් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් රෝගී ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න