Image

වැඩි වෙන බස් වියදම පියව ගන්න වෙන්නෙ අඩක් කුස පුරවාගෙන - පුබුදු ජයගොඩ

වැඩි වෙන බස් වියදම පියව ගන්න වෙන්නෙ අඩක් කුස පුරවාගෙන - පුබුදු ජයගොඩ

ලබන මාසයේ සිට පොදු ප්‍රවාහන වියදම තව වැඩිවෙන බවත් එම මුදල පියවා ගැනීමට සිදුවන්නේ ද කෑම පිඟානෙන් යැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරයි.

ඔහු මෙම අදහස සටහන් කර තිබුණේ සිය face book පිටුවෙහි ය.

මතු පළ වන්නේ පුබුදු ජයගොඩ පළ කළ තිබූ සම්පූර්ණ සටහනයි.

  •  ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මෙරට පවුලක මාසික වියදමෙන් 16%ක් ප්‍රවාහන වියදම.
  • ලංකාවේ ආනයන වියදමෙන් පහෙන් එකක් පමණ යන්නේ ඉන්ධන ආනයනයට.
  • ඒ ගෙන්වන ඉන්ධන වලින් 63%ක් වැය වෙන්නේ ප්‍රවාහනයට.

අන්තිමේ දී රටේ ආර්ථිකයටයි කුටුම්බ ආර්ථිකයටයි දෙකට ම මේක බරපතළ ප්‍රශ්නයක්.

මේ ප්‍රශ්න දෙකම විසඳන්න ක්‍රම දෙකක් ගැන සිතිය හැකියි. එකක් ආර්ථික කටයුතු සහ සේවා සැපයීම් ප්‍රාදේශීයව විමධ්‍යගත වන සේ ව්‍යාප්ත කිරීමෙන් ප්‍රවාහන අවශ්‍යතා අඩු කිරීම. දෙවැන්න පොදු ප්‍රවාහනය දිරිමත් කර පෞද්ගලික වාහන අධෛර්යමත් කිරීම. එමගින් ඉන්ධන පරිභෝජනය අඩුකර, විදේශ විනිමය වැය මත පීඩනය අඩු කරන අතර කුටුම්බ මට්ටමෙන් ආර්ථිකයට සහනයක් දිය හැකියි. අධික වාහන සංඛ්‍යාව නිසා ඇතිවන තදබදය විසඳීම සහ පරිසර හානියත් - එමගින් මහජන සෞඛ්‍යයට ඇතිවන අවදානමත් අඩු කිරීම බෝනස් වාසි.

පළමුවැන්න සමාජවාදී ආර්ථික මොඩලයක දී සාර්ථක කරගත හැකි දිගුකාලීන ඉලක්කයක්.

නමුත් දෙවැන්න කෙටිකාලීනව පූර්ණ කරගත හැකි ඉලක්කයක්. ලෝක වෙලඳපළෙහි ඉන්ධන මිල ඉහළ යනවිට ඔස්ට්‍රේලියාව, ප්‍රංශය යනාදි රටවල් පවා පොදු ප්‍රවාහනය නොමිලේ විවෘත කර, පෞද්ගලික වාහන භාවිතය අඩු කර, ඉන්ධන ආනයන වියදම් පාලනය කළා.

පසුගිය මැතිවරණවලදී ජන අරගල සන්ධානය "ජනතාවගේ ප්‍රතිපත්‍තිය" තුළ යෝජනා කළේ පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, නිෂ්පාදන ක්‍රමවේද යනාදි තෝරාගත් ක්ෂේත්‍ර සඳහා නිශ්චිත මාසික ඉන්ධන කෝටාවක් QR කේත හරහා බදු රහිතව අඩු මිලකට ලබාදෙන ලෙස. එමගින් ජනතාව ගේ ආර්ථිකයට සහනයක් ලැබෙනවා, ඉන්ධන මිල සමග සම්බන්ධිතව භාණ්ඩ සහ සේවා මිල ඉහළ යෑම පාලනය වෙනවා, ඉන්ධන පරිභෝජනය සීමා වී රටේ විදේශ විනිමය ඉතිරි වෙනවා.

මුලින් කියූ රටවල් වගේ පොදු ප්‍රවාහනය නොමිලේ නොදුන්නාට කමක් නෑ, 2022 ආර්ථික අර්බුදයට පෙර පැවති ගාස්තුවට ම නැවත යා හැකිනම් වඩා හොඳයි. නැතිනම් අඩුම වශයෙන් පොදු ප්‍රවාහන ගාස්තු වැඩි නොකර ඉන්න තිබුණා. නමුත් ලංකාවේ ආණ්ඩුව කරන්නේ ඉන්ධන කාර්‍යක්ෂමතාවය අඩු, සුඛෝපභෝගී වාහන ආනයනය දිරිගන්වන ගමන් පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම.

ආණ්ඩුව "76 වසරේ සාපය" අඛණ්ඩව ඉදිරියට ගෙනයන ගමන් "ප්‍රායෝගිකත්වයේ" මන්තරය මතුරනවා. නැතිනම් "බස් ගාස්තු වැඩි වුණාට ඉස්සර වගේ ඒකෙන් හොරකම් කරන්නේ නෑනේ" කියලා සිත නිවන කතා ප්‍රචාරය කරනවා. ඒ 76 වසරේ සාපයේ දායකයන් වන පාර්ලිමේන්තු නිල විපක්ෂය මේ යන සාපකාරී පාර අනුමත කරන ගමන්, ඒ පාරේ යන රියැදුරා L Board වගේ පොඩි පොඩි මැසිවිලි නගනවා.

මාරු කළ යුත්තේ ආණ්ඩු හෝ ජනාධිපතිවරු නෙවෙයි, රාජ්‍ය ප්‍රතිපත්‍තිය සහ සමාජ - ආර්ථික - දේශපාලන ක්‍රමය බව අපි හැමෝම තේරුම් ගන්නා තුරු මේ ප්‍රශ්න එකකින්වත් ගොඩ ඒමක් නැති බව නම් පැහැදිලියි නේද?

Pubudu Jayagoda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න