පිවිතුරු හෙළ උරුමය රටේ දරුවන් ගැන සිතන, අධ්‍යාපනයේ වටිනාකම හඳුනන දේශපාලන ව්‍යාපාරයක් ලෙස, අද දවසේ උසස් පෙළ දරුවන් මුහුණ දෙන අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළා යැයි පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් අංජන උදාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අංජන උදාර...
කණ්ඩායම් දෙකට ම මෙවර ඉතිහාසයේ බරපතළ ම අසාධාරණයක්
''වර්තමාන ආණ්ඩුව අවම වශයෙන් අධ්‍යාපනය සහ විභාග සම්බන්ධ කාලසටහන් සකස් කරගැනීමටවත් නොහැකි, මෝඩ සහ මොළයක් නැති ආණ්ඩුවක් බව පෙනී යනවා. ඒ වගේම දරුවන් ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන, කිසිදු හෘදසාක්ෂියක් නොමැති ආණ්ඩුවක් බවත් පෙනෙනවා. මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා උසස් පෙළ සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වන බව. පළමු කණ්ඩායම වන්නේ පළමු වරට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්. දෙවන කණ්ඩායම වන්නේ දෙවන සහ තෙවන වරට විභාගයට මුහුණ දෙන දරුවන්. මෙම කණ්ඩායම් දෙකටම මෙවර ඉතිහාසයේ බරපතළ ම අසාධාරණය සිදුවී තිබෙනවා.
අනෙක් වසරවලට සාපේක්ෂව විශාල කප්පාදුවක්
පළමු වරට විභාගයට ඉදිරිපත් වන දරුවන්ට විභාගය සඳහා සූදානම් වීමට තිබෙන කාලය ඉතා අඩු වී තිබෙනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගය සඳහා ඉතිහාසයේ සිටම මාස 24ක, එනම් අවුරුදු දෙකක පමණ කාලයක් ලබා දී තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී එම කාලය මාස 28, 29, 30 හෝ 32 දක්වා පවා වැඩි වී තිබෙනවා. නමුත් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට මෙම විශාල විෂය නිර්දේශය ආවරණය කරමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට ලැබී තිබෙන්නේ මාස 21ක පමණ කාලයක් පමණයි. මෙය අනෙක් වසරවලට සාපේක්ෂව විශාල කප්පාදුවක්. ඒ හරහා පළමු වරට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදුවන අතර, ඔවුන්ට නිසි ලෙස සූදානම් වීමට අවශ්‍ය කාලය නොලැබෙනවා.
දෙවන හා තෙවන වර දරුවන්ට සූදානම් වීමට තිබෙන්නේ දින 133යි
දෙවන කණ්ඩායම වන්නේ දෙවන හෝ තෙවන වරට විභාගයට මුහුණ දෙන දරුවන්. ඔබ දන්නවා, දෙවන වරට හෝ තෙවන වරට විභාගය ලියනවා ද යන්න තීරණය කරන්නේ පෙර වර විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුවයි. බොහෝ දරුවන් බලාපොරොත්තු වන්නේ තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි වේවි කියා යි. නමුත් ප්‍රතිඵල ලැබුණු පසුව බලාපොරොත්තු වූ ප්‍රතිඵලය හෝ අපේක්ෂිත පීඨයට ඇතුළත් වීමේ අවස්ථාව නොලැබෙන අවස්ථා තිබෙනවා. එවිටයි ඔවුන් නැවත විභාගයට පෙනී සිටීමට තීරණය කරන්නේ. එබැවින් ප්‍රතිඵල නිකුත් වීම සහ නැවත විභාගයට පෙනී සිටීම අතර ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුයි. 2024 සහ 2025 වසරවල මෙම කාලය පිළිවෙළින් දින 178ක් සහ දින 198ක් පමණ වී තිබුණා. නමුත් මෙවර ප්‍රතිඵල නිකුත් වන්නේ මාර්තු අවසානයේදී වන අතර, උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා පැවැත්වෙනවා. එබැවින් දෙවන හා තෙවන වර දරුවන්ට සූදානම් වීමට තිබෙන්නේ දින 133ක් පමණයි.
උසස් පෙළ විභාගය සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුයි
මෙවැනි දැවැන්ත විෂය නිර්දේශයක් ආවරණය කිරීම, පුනරීක්ෂණය කිරීම සහ පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීමට මෙම කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කලින් වසරවල දරුවන්ට ලැබුණු කාලයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙවර දරුවන්ට අහිමි වී තිබෙනවා. එබැවින් පළමු වරට විභාගයට මුහුණ දෙන දරුවන්ටත්, දෙවන හා තෙවන වරට මුහුණ දෙන දරුවන්ටත් බරපතල අසාධාරණයක් සිදුවී තිබෙන බව අපි දකිනවා. කෙනෙකුට සිතෙන්න පුළුවන්, “සියලු දෙනාම එකම විභාගය ලියනවා නම් ප්‍රශ්නය කුමක්ද?” කියලා. නමුත් මෙහි තවත් ගැටලු ගණනාවක් තිබෙනවා.
උසස් පෙළ විභාගය යනු විශ්වවිද්‍යාල ප්‍රවේශය පමණක් තීරණය කරන විභාගයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ දරුවන් ගේ අනාගතය තීරණය කරන ප්‍රධාන විභාගය යි. රාජ්‍ය සේවයේ බොහෝ රැකියා සඳහාත්, පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් සඳහාත් උසස් පෙළ ප්‍රතිඵල වැදගත් වෙනවා. හමුදා නිලධාරියෙකු, පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකු වීමටත්, නීති විද්‍යාලය ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමටත් උසස් පෙළ ප්‍රතිඵල අත්‍යවශ්‍යයි. මෙවර උසස් පෙළ ලියන දරුවන්ට තරග කිරීමට සිදුවන්නේ, කලින් වසරවල වැඩි කාලයක් ලබාගෙන හොඳින් සූදානම් වූ දරුවන් සමගයි. එබැවින් මෙම දරුවන්ට ඉතා විශාල අසාධාරණයක් සිදුවන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා උසස් පෙළ විභාගය සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුයි. සියලු දරුවන්ට සාධාරණත්වය හිමි විය යුතුයි. එම නිසා අද දවසේ දී අපි අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කළා. අධිකරණය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන දරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
රජය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ
රජය මේ සම්බන්ධයෙන් කිසිදු සංවේදී බවක් දැක්වූයේ නැහැ. තම අනාගතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරන උසස් පෙළ දරුවන්ගේ මෙම සංවේදී කාරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරියවත්, අග්‍රාමාත්‍යවරියවත්, සමස්ත රජයවත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. අපි මීට පෙරත් අධ්‍යාපනය සම්බන්ධ ගැටලු පිළිබඳ සංවේදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස මැදිහත් වී තිබෙනවා. 2012 දී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ ගැටලුවකදීත්, 2022 දී උසස් පෙළ විභාග කාලසටහන සම්බන්ධ ගැටලුවකදීත් අපි මැදිහත් වුණා. එම අවස්ථාවල රජය අපේ කරුණු සැලකිල්ලට ගෙන දරුවන්ට අවශ්‍ය සාධාරණ කාලය ලබා දීමට කටයුතු කළා. නමුත් මෙවර වර්තමාන රජය ඉතා උද්දච්ච හා මුග්ධ ආකාරයෙන් දරුවන් මතු කරන මෙම සංවේදී ගැටලු සියල්ල නොසලකා හැර තිබෙනවා. ඒ නිසා අද අපි මෙම නඩුව පැවරුවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
