2026 ජුනි 26වන දා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයේ 24වන රැස්වීම අතරතුර පැවැති මැතිවරණයේ දී, ශ්‍රී ලංකාවේ අපේක්ෂිකා, මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවට (CEDAW) අඛණ්ඩව දෙවැනි වරටත් තේරී පත් විය.
දෙවැනි වරටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික අපේක්ෂිකාව
සම්මුතියේ රාජ්‍ය පාර්ශ්ව විසින් අපේක්ෂකයින් 20 දෙනෙකු අතුරින් 12 දෙනෙකු සම්මුති කමිටුවට තෝරා පත් කර ගනු ලැබිණි. මැතිවරණයට සහභාගී වූ සාමාජික රටවල් 187න් 144ක මනාපය ලබා ගනිමින්, ශ්‍රී ලංකාව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. ඇන්ටිගුවා සහ බාබුඩා, අසර්බයිජානය, කැනඩාව, කියුබාව, ඊජිප්තුව, එස්තෝනියාව, මෙක්සිකෝව, මොන්ගෝලියාව, නයිජීරියාව, ස්පාඤ්ඤය සහ උගන්ඩාව, කමිටුවට තේරී පත් වූ අනෙකුත් සාමාජිකයින් විය. මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් CEDAW සඳහා දෙවැනි වරටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික අපේක්ෂිකාව ය.
CEDAW විෂය පථයට අයත් කරුණු පිළිබඳ විශේෂඥවරියක්
ශ්‍රී ලංකාව 1981 දී, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් ලෙස සැලකීම් තුරන් කිරීමේ සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවකු බවට පත්විය. CEDAW එම සම්මුතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන, ලොව පුරා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයින් 23 දෙනෙකුගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයකි.
2023-2026 කාල සීමාව සඳහා, අපේක්ෂකයින් දොළොස් දෙනාගෙන් එක් අයෙකු ලෙස තේරී පත්වීමෙන් අනතුරුව මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස්, CEDAW හි වත්මන් සාමාජිකාවක් ලෙස ක්‍රියා කරයි. මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර පීඨාධිපති සහ ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් සඳහා වූ ගෝලීය ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය සහ හාවඩ් නීති විද්‍යාලයෙන් නීතිපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබා ගත්තා ය. කාන්තාවන්ගේ සමාන නියෝජනය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරව වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති ඇය, ජාත්‍යන්තර කාන්තා මානව හිමිකම් සහ CEDAW විෂය පථයට අයත් කරුණු පිළිබඳ විශේෂඥවරියක් වේ.
CEDAW හි ආරම්භයේ සිටම, ශ්‍රී ලාංකික විශේෂඥයින් තිදෙනෙකු එයට සම්බන්ධ වී කටයුතු කර ඇත. මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර 1999-2002 කාල සීමාව තුළ සහ විනීතා ජයසිංහ 1982-1986 කාල සීමාව තුළ CEDAW කමිටුවේ සාමාජිකත්වය දැරීය. මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් කමිටුවට නැවතත් තේරී පත්වීම තුළින්, ඇගේ විශේෂඥතාව සහ නිපුණතාව තවදුරටත් පිළිබිඹු වන අතර, ගනිමින් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සහ කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම පෙන්නුම් කෙරෙයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, කොළඹ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
