Image

'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මිය ගේ පවුලේ සාමාජිකයින් ගේ නිල නිවේදනය

'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මිය ගේ පවුලේ සාමාජිකයින් ගේ නිල නිවේදනය

සිනමා නිළි රැජින, මගේ ආදරණීය ලොකු නැන්දා වන මාලිනී ෆොන්සේකා මහත්මිය අප අතරින් වෙන් වී වසරක් ගෙවී යෑමටත් මත්තෙන්, ඇගේ ජීවිත කතාව අලළා සිනමාපටයක් නිර්මාණය වන බවට ජයන්ත ධර්මදාස මහතා සිදු කළ නිල නිවේදනයෙන් පසුව ඒ පිළිබඳව සමාජය තුළ විශාල කතිකාවක් නිර්මාණය විය.

ඇගේ අභාවයෙන් පසු පවුලේ සාමාජිකයින් ලෙස අප පවත්වාගත් නිහඬතාව පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රශ්න කළ ද, නිර්මාණයක තිරපිටපත හෝ අන්තර්ගතය කුමක්දැයි නිසි ලෙස නොදැන ප්‍රකාශයන් නිකුත් කිරීම වෘත්තීය මෙන්ම සදාචාරාත්මක නොවන බැවින් අප මෙතෙක් නිහඬව සිටියෙමු.

එහෙත් අපට නොදන්වා ම චිත්‍රපටයේ රූගත කිරීම් අද දින ආරම්භ කර ඇත. එහෙයින් 'රැජිණියේ' චිත්‍රපටය සම්බන්ධව අපට සිදු කළ සදාචාර විරෝධී ක්‍රියාව පැහැදිලි කරනු වස් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මම මෙම නිල ප්‍රකාශය සිදු කරමි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජයන්ත ධර්මදාස මහතා විසිනි. අප ලොකු නැන්දා අසනීප වූ සෑම අවස්ථාවක දී මෙන් ම ඇගේ අවසාන කාලයේදීත්, ඔහු ඇය වෙනුවෙන් කළ සියලු උපකාර සහ දැක්වූ ආදරය පිළිබඳව අපගේ හෘදයාංගම කෘතඥතාවය මේ මොහොතේ ද පුද කර සිටිමු. එහෙත්, මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සම්පූර්ණයෙන් ම වෙනම ම වෘත්තීයමය කාරණාවකි. එම නිසා ඊට අදාළව පවුලේ සාමාජිකයින් නිසි ලෙස දැනුවත් කරමින්, වෘත්තීය මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යෑමට එතුමා ඇතුළු නිර්මාණ කණ්ඩායම සදාචාරාත්මකව බැඳී සිටිනු ඇතැයි අපි දැඩිව විශ්වාස කළෙමු.

ලොකු නැන්දා පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය වීමට යන බව මට මුලින්ම දැනගන්නට ලැබුණේ හිතවතෙකුගෙනි. මා වහාම ඒ පිළිබඳව දමයන්ති නැන්දා (දමයන්ති ෆොන්සේකා) වෙත පවසා, ජයන්ත ධර්මදාස මහතා ගෙන් ඒ පිළිබඳව විමසීමක් කරන ලෙස ඇය ගෙන් ඉල්ලා සිටියෙමි.

ඒ අනුව 2026 පෙබරවාරි 09 වන දින දමයන්ති නැන්දා ජයන්ත ධර්මදාස මහතා හමුවී මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ, එම සිනමාපටය තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමක බවත්, පවුලේ වැඩිහිටියන් සමග වැඩිදුර විස්තර කතා කරගැනීම සඳහා ඉදිරියේ දී සාකච්ඡාවක් ලබා දෙන බවත් ය. එහි දී ඇය අවධාරණය කර සිට ඇත්තේ ලොකු නැන්දා ගේ කීර්තිනාමයට හෝ චරිතයට කිසිදු හානියක් නොවිය යුතු බැවින්, ඊට පෙර එහි තිරපිටපත (Script) අප වෙත ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඉන්පසුව දිනෙක උත්සව අවස්ථාවක දී ජයන්ත ධර්මදාස මහතා මට හමු වූ මොහොතක ද මෙම සිනමාපටය ගැන පැවසූ අතර, එහි දී මම ද කියා සිටියේ එය හොඳ අදහසක් බවත් 'මාලිනී ෆොන්සේකා' බඳු ප්‍රබල චරිතයක් පිළිබඳව සිනමාපටයක් කිරීම ඊට අවශ්‍ය කාලය රැගෙන කළයුතු පර්යේෂණාත්මක කාර්‍යයක් බවයි.

නමුත් තත්ත්වය මෙසේ තිබියදී, 2026 අප්‍රේල් 2 වන දින 'රැජිණියේ' නමින් මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිතය අලලා චිත්‍රපටයක් කිරීමට යන බව නිල වශයෙන් ජනගත කර තිබෙනු අප දුටුවේ මුහුණුපොත (Facebook) හරහා ය. එම ජනගත කිරීමේ මූලික සාකච්ඡාව සඳහා හෝ උත්සවය සඳහා පවුලේ වැඩිමහල් කිසිදු සාමාජිකයකුට ආරාධනා කර තිබුණේ නැත.

පසුව මෙහි පිටපත් රචකයා ලෙස කටයුතු කරන සුනෙත් මාලිංග මහතා මා වෙත දුරකතනයෙන් ඇමතුමක් ලබා දී පිටපත පිළිබඳ විස්තර කිරීමට උත්සාහ කළ විට, මා ඔහුට පැවසුවේ මෙය දුරකතනයෙන් කතා කළ හැකි සුළු කාරණයක් නොවන බවත්, පවුලේ සියලු දෙනා සමග නිල සාකච්ඡාවක් පවත්වා දීර්ඝව කතාබහ කළ යුතු බවත් ය. එහෙත් ඉන් පසුව කිසිදු දිනෙක ඔහු හෝ එම කණ්ඩායමේ කිසිවකු ඒ සම්බන්ධයෙන් මා සම්බන්ධ කරගත්තේ නැත.

පසුව, දමයන්ති නැන්දා විසින් 2026 අප්‍රේල් 15 වන දින ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියට ප්‍රතිචාරයක් ලෙස, 2026 මැයි 2 වන දින සුනෙත් මාලිංග මහතා පමණක් දමයන්ති නැන්දා හමුවීමට පැමිණියේ ය. එහි දී ද ඔහු චිත්‍රපටයේ කතාව ඇයට පැහැදිලි කිරීමට යන අවස්ථාවේදී ඇය කියා සිට ඇත්තේ වාචික ප්‍රකාශ පිළිගත නොහැකි බැවින් ලිඛිත තිරපිටපත පවුලේ අයට ලබා දෙන ලෙසයි. ඒ වන විට පිටපත සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව පවසා ඇති සුනෙත් මාලිංග මහතා සහ දුරකතනයෙන් එම සාකච්ඡාවට සම්බන්ධ වූ ජයන්ත ධර්මදාස මහතා, පිටපත කඩිනමින් අවසන් කර 2026 මැයි මස 20 වන දිනට පෙර පවුලේ අතට පත් කරන බවට දමයන්ති නැන්දාට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත්, එලෙස පොරොන්දු වූ දිනට අප වෙත පිටපත ලැබුණේ නැත. ඉන්පසුව දමයන්ති නැන්දා විසින් මැයි 23 සහ ජූනි 6 යන දිනවල යොමු කරන ලද කිසිදු WhatsApp පණිවිඩයකට හෝ 2026 ජූනි 23 වන දින ලියාපදිංචි තැපෑලෙන් යැවූ අවසාන ලිපියට පවා අද වන තෙක් ඔවුන් ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

මගේ ලොකු නැන්දා පිළිබඳව චිත්‍රපටයක් නිර්මාණය වීම ගැන ඇගේ දියණියක ලෙසත්, ක්ෂේත්‍රයේ ම නියැළෙන රංගන ශිල්පිනියක ලෙසත් මම අවංකවම සතුටු වෙමි. එහෙත් එය කුමන ආකාරයේ සිනමාපටයක් ද, එය සිදු කරන්නේ කෙලෙස ද සහ එහි අන්තර්ගත වන කතා වස්තුව කුමක්ද යන්න පිළිබඳව සෙවීමටත්, දැනගැනීමටත් ඇගේ පවුලේ අයට පූර්ණ අයිතියක් ඇත.

තිරපිටපත පවුලේ සාමාජිකයන් වෙත ලබා දෙන බවට දුන් පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් සහ මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින්, 'රැජිණියේ' චිත්‍රපටයේ රූගත කිරීම් අද දින අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇත.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැම නොසලකා හරිමින් සිදු කළ මෙම අතිශය සදාචාර විරෝධී, වංචනික ක්‍රියාව අප දැඩිලෙස හෙළා දකිමු. තම මුළු ජීවිත කාලය ම සිනමා කලාව වෙනුවෙන් ම කැප කළ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය, ඇගේ මරණයෙන් පසුව මෙලෙස සුළු පිරිසකගේ පටු උන්නතිය උදෙසාත්, වාණිජ පරමාර්ථ උදෙසාත් අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේ ම ආචාර ධර්මවලට පටහැනි බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

සමනලී ෆොන්සේකා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න