Image

මඩකළපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම සමාලෝචනය කරයි

මඩකළපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම සමාලෝචනය කරයි

නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගයේ වත්මන් තත්ත්වය සහ ඩෙංගු රෝගය පාලනය සහ මර්දනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවණභවන්, මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන් යන අය ගේ සහභාගීත්වයෙන් මෙම සමාලෝචන රැස්වීම පැවැත්වුණි. ඩෙංගු මදුරු පාලනය සඳහා වැදගත් වූ තීන්දු තීරණ රැසක් එහි දී ගත්තේ ය.

දිස්ත්‍රික්කයේ පසුගිය වසර 5 ක ඩෙංගු වාර්තා මෙහි දී සමාලෝචනය කළ පසුපැහැදිලි වූයේ වසරින් වසර වාර්තාවන ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාවේ උච්චාවචනයන් සිදුවන බවයි. ඒ අනුව 2022 වසරේ රෝගීන් 1,248 ක්, 2023 වසරේ රෝගීන් 2,782 ක්, 2024 වසරේ රෝගීන් 1,578 ක්, 2025 වසරේ රෝගීන් 2,075ක්, 2026 වසරේ මේ දක්වා රෝගීන් 1,127 ක් වශයෙන් වාර්තා වන බව මෙහි දී පෙන්වා දුනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය 629,780 ක් වන අතර ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් රෝගීන් වාර්තා වීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරිණි.

මේ වසරේ (2026) මේ දක්වා වැඩිම රෝගීන් ප්‍රමාණයක් මඩකලපුව (329) සහ චෙන්කල්අඩි Chenkalady (252) යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වී ඇති බව ද මෙහිදී හඳුනා ගැනිණි. මීට අමතරව කිරාන් Kiran සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 81 ක් සහ එරාවුර් Eravur සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 71 ක් ද වාර්තා වී ඇති බව දත්ත වාර්තා අනුව පෙන්වා දුන්නේ ය.

යට සඳහන් දත්ත වාර්තා අධ්‍යයනයෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දුන්නේ 2026 වසරේ මේ දක්වා රෝගීන් 1,127 ක් ද වාර්තා වී ඇති බැවින් ඉදිරි මාසවල දී රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පළාත් සෞඛ්‍ය අංශ සම්බන්ධ කරගනිමින් කීට විද්‍යාත්මක සමීක්ෂණ, දුමායන (Fogging) කටයුතු සහ මහජනතාව දැනුවත් කිරීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කළ යුතු බවයි. එමෙන්ම රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත පරිශ්‍ර, වැඩබිමි, පාසල් පරිශ්‍රය යනාදි පොදු ස්ථාන කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවට ද උපදෙස් ලබාදුන්නේ ය.

දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මේ වන විටත් සක්‍රීය පියවර රැසක් ගනු ලැබ ඇති බවත්, ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රධාන අභියෝග වන විධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිකම, පොලිසිය, ප්‍රාදේශීය සභා සහ අනෙකුත් රාජ්‍ය අංශ අතර පවතින සම්බන්ධීකරණයේ අඩුපාඩු, වඩාත්ම වැදගත් කරුණ ලෙස, මහජනතාව ගේ වගකීම් සහගත දායකත්වය සහ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවීම, මෝසම් දේශගුණික රටාවන්හි සිදුවන වෙනස්වීම් ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන්ට මෙහි දී උපදෙස් ලබා දුන්නේ ය.

මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) - සෞඛ්‍ය අමාත්‍යංශය

batti

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න