Image

සලේ ගේ දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි අධිකරණය නියෝග කරයි

සලේ ගේ දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි අධිකරණය නියෝග කරයි

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට අයත් දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (1) නියෝග කළේ ය.

විමර්ශන සිදු කිරිමට මුරපදය අවශ්‍ය බවත් මෙතක් දැනුම් දුන්න ද ලබා දී නැති බවත් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිරටර් ජනරාල් ජනාධිපති නිතිඥ දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

අධිකරණයෙන්, පිටු 23කින් යුක්ත දීර්ඝ නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය පෙබරවාරි මස 25 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන අතර මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ ය. පෙර දින පැමිණිල්ල සහ විත්තිය විසින් සිදු කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23කින් යුක්ත දීර්ඝ නියෝගයක් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළේ ය.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ මූලිකත්වයනේ සිදු කරන විමර්ශන වෙනත් ඕනෑම් අංශයකට මාරු කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය. එසේම සුරේෂ් සලේ ගේ නිවසින් ගෙනෙන: කියවීමට පොත්, පුවත්පත්, නඩුවට අදාළ ලේඛන, පනත්, කඩදාසියක් සහ පෑනක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

එක සහ දෙක සැකකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ කිරීමට සුරේෂ් සලේ වෙනුවෙන් නිතිඥවරුන් සිදු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර ඇති එක සහ දෙක සැකකරුවන් වන ජෙගීල් පාස් සහ සරත් සමන්ත දෙදෙනා එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කළ ඉල්ලිම ද ප්‍රතික්ෂේප කළේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර සාක්ෂි ඉදිරිපත් කර ඇති බැවින් සහ නිදහස් කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බැවින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා මෙහි දී දනුම් දුන්නේ ය. එසේම සුරේෂ් සලේ විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම පිළිබඳ නියෝගය කරමින් ඔහු ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ඉල්ලීම සංශෝධනයකරන බවත්, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටිය දී සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේ ය. එසේම සුරේෂ් සලේ නැමැති සැකකරුට ලබා දී ඇති නීතිඥ ප්‍රවේශය ඉවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතික්ෂේප කළේ ය.

විද්‍යුත් නාලිකා 10කට නියෝග නිකුත් කරන්න අවසර

මෙම සිද්ධිය සම්බ්නධයෙන් විවිධ ප්‍රකාශ සිදු කරමින් විමර්ශනයට බාධා කරමින් සහ අධිකරණයට අපහාස කරමින් විවිධ පුද්ගලයන් විද්‍යුත් මාද්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවත් එම ප්‍රකාශවලට අදාළ සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස විද්‍යුත් නාලිකා 10 නියෝග නිකුත් කරන ලෙස පැමිණිල්ල සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි. එහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පැමිණිල්ල ඉදිරිපත් කළ පියතුමන්ලා ඇතුළු පිරිසකට තර්ජන සිදු කරමින් විවිධ ප්‍රකාශ සිදු කරන බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස රොහාන් සිල්වා පියතුමා ඇතුළු අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරනු සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අදාළව පැමිණිල්ලක් ගොනු කරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතෘප්තියට පත් පාර්ශ්වයක් ලෙස මෙම නඩුකරයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රමික නිලධාරියෙක් වන ශාන්ත ජයතිලක යන අය කළ කරුණු දැක්වීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියොග්ය ඉදිරි දින තෙක් කල් තැබිණි. ඊට පැමිණිල්ල සහ අගතියට පත් පාර්ශවය සිය විරෝධය පළ කළේ ය.

සලේට ප්‍රඥාව පහළ වෙලා

පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිලීප පීරිස් මෙසේ දැක්වීය

''ස්වාමීනි එවැනි සැකකරු සුරේස් සලේ ආහාර වර්ජනය ඉවත් කළ බවට අද මාධ්‍ය මගින් දැනුවත් වුණා. පසුගිය නඩු දිනයෙන් පසු ඔහු උපවාසය පටන් ගත්තා. මේ වන විට හෘද ඒකකයට මාරු කර තිබෙනවා. ඉතා වටිනා වූ ආහාර වර්ග විටමින් වර්ග ලබා දී තිබෙනවා. අපිට අවශ්‍ය ඔහු නඩුව අවසන් වන තෙක් ජීවත් කරවීමයි. අපි ඔහුට බුරියානි පවා කන්න දුන්නා. ඔහුට ද ප්‍රඥාව පහළ වෙලා ද උපවාසය අත්හැර තිබෙන්නේ විමර්ශන සඳහා ඔහු නැවත අපිට ගෙන්වා ගත යුතුයි' විත්තිකරුවන් තුන්දෙනෙකුට නියෝග ගත්ත ගමන් ඔහු උපවාසය පටන් ගත්තේ මෙහි කුමන්ත්‍රණය පැහැදිලි වෙනවා මෙම විමර්ශනයේ විශේෂ ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා ඊට අදාළා වාර්තාවක් ඉදිරි දින අධිකරණ ඉදිරිපත් කරනවා,'' යැයිද හෙතෙම සඳහන් කළේය.

රොහාන් සිල්වා පියතුමාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ද නීතිඥවරුන් කරුණු දැක්වීය.

තහඩු කෑලි එල්ලගෙන ඇවිල්ලා ඉල්ලීම් කරන්න දෙන්න බැහැ

අතෘප්තියට පත් පාර්ශවයක් වෙනුවෙන් කරුණු දැක්වීමට වීශ්‍රාමික ශාන්ත ජයතිලක කළ ඉල්ලීම හමුවේ කරුණු දක්වමින් දිලීප පිරිස් මෙසේ කියා සිටියේ ය.

''ස්වාමීනී මෙම ඉල්ලීමට මම විරුද්ධයි. ඉල්ලීම සිදු කරන්න නෛතික ප්‍රතිපාද නෑ. නැතුව හිතෙන හිතෙන පුද්ගලයන්ට අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීම් කරන්න බෑ. විවිධ පුද්ගලයන් සතුටු කරන්න අතෘප්තිමත් පාර්ශවයන් කියල පෙනී සිටින්නේ. බලපන්ති ලුතිනන්වරයෙක් කියලා තහඩු කෑලි එල්ලගෙන ඇවිල්ලා ඉල්ලීම් කරන්න දෙන්න බැහැ.''

එහිදී ශාන්ත ජයතිලක කරුණු දැක්වීමට කළ උත්සාහය හමුවේ මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ව අවවාද කළේය.

තමුන් නීතිඥවරුන් දක්වන කරුණුවලට කරුණු දක්වමින් මෙසේ හැසිරෙන්නේ නම් නීතියට බාධා කරන්නේ නම් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා යැයි එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැනුම් දුන්නේ ය.

මහජන සුභසාධක නඩුවක් නොවේ

එහි දී අදහස් දක්වමින් දිලිප පීරිස් කියා සිටියේ ''ස්වාමීනි මෙම සිද්ධියේ නියම වින්දිතයන් වන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සහ තුවාලත් පුද්ගලයන් මේ අය සිදු කරන්නේ මේ විමර්ශන වෙනත් මානයකට ගෙන යන්න මේ පුද්ගලයා අට දෙනෙකුට එරෙහිව නඩු ගොනු කරලා තියෙනවා. යුක්තිය පසිඳවීමේ ක්‍රියාවට කෙරෙහිව මොහු කටයුතු කරන්නේ මේක අපරාධයක් සම්බන්ධ නඩුකරයක් අපරාධ විමර්ශනයක වින්දිතයන් මහජන සුභසාධක නඩුවක් සේ සලකන්න බෑ.''

මේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න අතෘප්තියට පත් පාර්ශවයක් වෙනුවෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී සැකකාර සුරේ සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද පරණහැන්දි අධිකරණය හමුවේ දන්වා සිටියේ තහඩු එල්ලාගෙන සිටින පුද්ගලයෙක් ලෙසට විශ්‍රාමික හමුදා නිලධාරියකුට සිදුකළ අපහාසය සමස්ත හමුදාවටම සිදුකළ අපහාසයක් වන බව යි.

පළමු සහ දෙවන සැකකරුවන් ලබන 15 තෙක් රිමාන්ඩ්

ඒ නීතිපතිවරයා නියෝජනය කරමින් සිදුකිරීම බරපතළ තත්ත්වයක් බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. හමුදා පදක්කම් දිනාගත් ඕන තරම් අය ඉන්නවා යැයි ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

එසේම පළමු සහ දෙවන සැකකරුවන් ලබන 15 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන සැප්තැම්බර් 02 තෙක් කල් තැබිණි. ඉදිරි දින සැකකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියෝග කළේ ය.

තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළ අතර එම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්ව පසුගිය ජුනි මස 27 වන දින හෘදයාබාධ රෝගී තත්ත්වයකට ලක්ව ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර (01) සුරේෂ් සලේ සිය නීතිඥ උපදෙස් මත සහ වෛද්‍ය උපදෙස් මත ඔහු ගේ උපවාසය නතර කිරීමට ද තීරණය කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න