Image

චීනයේ ත්‍යාගශීලීභාව නිසා අපිට ඉතා වටිනා ව්‍යාපෘති ලැබුණා - වජිර අබේවරධන

චීනයේ ත්‍යාගශීලීභාව නිසා අපිට ඉතා වටිනා ව්‍යාපෘති ලැබුණා - වජිර අබේවරධන

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙලුම් පොකුණ රඟහල සහ දකුණේ පවුල් දහස් ගණනකගේ ආරක්ෂාව සැලසූ “ගිං ගඟ” ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය යනාදි සියල්ල චීන ජනතාව ගෙන් ලැබුණු ත්‍යාග බවත්, ඔවුන්ගේ ත්‍යාගශීලීභාවයෙන් තොරව මේවා කිසිවක් අපට සාක්ෂාත් කරගත නොහැකි වන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105වන සංවත්සර උත්සවය අමතමිනි. මතු පළ වන්නේ එම සංවත්සර උලෙළෙහි දී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කළ සම්පූර්ණ කතාව ය.

''මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු තානාපතිතුමනි, සම්භාවනීය අමුත්තනි, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීනි, නෝනාවරුනි, මහත්වරුනි,

මහජන චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 105 ක් සමරන මෙම සැන්දෑවේ, එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔබ සමග එක්වීමට ලැබීම මා ලැබූ විශාල ගෞරවයක් බව මා සිහිපත් කරන්න කැමතියි. චීන කොමියුනිස්ට් පක්ෂයටත්, චීන රජයටත්, චීන ජනතාවටත්, අප පක්ෂය විසින් මේ ඓතිහාසික අවස්ථාවේ දී ගෞරවනීය සුබපැතුම් ලිපියක් යොමු කරන ලද අතර අතිගරු ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාටත් අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා.

සියවසකට වැඩි කාලයක් පුරා, චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව සුවිශේෂී ගමන් මගක් ඔස්සේ ඉදිරියටම රැගෙන ගොස් තිබෙනවා. ඒ, නැගී සිටීමේ සිට, සමෘද්ධිමත් වීම දක්වා සහ ඉන්පසු ශක්තිමත් බලවතෙකු වීම දක්වායි. ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ නායකත්වය යටතේ, චීනය මිලියන සංඛ්‍යාත ජනතාවක් දුප්පත්කමින් මුදවාගෙන තිබෙනවා. එය මානව ඉතිහාසයේ අසමසම ජයග්‍රහණයක් බව කිව යුතුයි. එය අප වැනි මිතුරු රටවල ගෞරවයට හා ප්‍රශංසාවට ලක්වන ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය සියවස් ගණනාවක් ඈතට දිවයන්නක් බවද කිව යුතුමයි. ඒ චීන බෞද්ධ භික්ෂුවක් වූ පාහියන් හිමියන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පූජනීය ධර්මය සොයා අප දිවයිනට වැඩම කළ යුගය දක්වායි. නූතන යුගයේදී, එම මිත්‍රත්වය එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් නැවත අලුත් කරනු ලැබුවේ, වසර 1952 වසරේදී, වෙනත් කිසිඳු රාජ්‍යයක් චීනය සමඟ නොසිටි වකවානුවක, එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීමත් සමඟයි. එම අන්‍යෝන්‍ය ගෞරවයේ බැඳීම වසර හැත්තෑවකට වැඩි කාලයක් පුරා නොබිඳී පවතිනවා.

එම මිත්‍රත්වයේ උණුසුම අපේ රටේ ප්‍රධාන ස්මාරක තුළ සනිටුහන් වී තිබෙනවා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙලුම් පොකුණ රඟහල සහ දකුණේ පවුල් දහස් ගණනකගේ ආරක්ෂාව සැලසූ “ගිං ගඟ” ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය ඒ අතර වෙනවා. මේ සෑම එකක්ම චීන ජනතාවගෙන් ලැබුණු ත්‍යාගයන් වන අතර, ඔවුන්ගේ ත්‍යාගශීලීභාවයෙන් තොරව මේවා කිසිවක් අපට සාක්ෂාත් කරගත නොහැකි වනවා ඇත.

එක්සත් ජාතික පක්ෂය සැමවිටම මෙම මිත්‍රත්වය වඩාත් පුළුල් කිරීමට කටයුතු කර තිබෙනවා. අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකාව 'එක් තීරයක්, එක් මාවතක්' වැඩපිළිවෙළේ මුල්ම හවුල්කරුවෙකු ලෙස එක් වූ අතර, අපේ රටේ ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී ආයෝජන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය ඉදිරියට ගෙන යනු ලැබුවේය. එමෙන්ම, 2022 වසරේ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවස්ථාවේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියට සහය දුන් හවුල්කරුවන් අතර චීනය පෙරමුණේම සිටි බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි. මේ මුළු කාලය පුරාම, අප පක්ෂය 'එකම චීන ප්‍රතිපත්තියක්' (One China Policy) යන ප්‍රතිපත්තිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකාවේ ස්ථාවරය කිසිදු පැකිලීමකින් තොරව ආරක්ෂා කර තිබෙනවා.

අද ලෝකය සියවසකින් නොදුටු ගැඹුරු වෙනස්කම්වලට භාජනය වෙමින් පවතිනවා. මෙවැනි අවිනිශ්චිත කාලවකවානුවක, චීනය හුදකලා වීම වෙනුවට විවෘතභාවය තෝරාගෙන තිබෙනවා. මන්ද, ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා පවසා ඇති පරිදි, විවෘතභාවය ප්‍රගතිය ගෙන දෙන අතර හුදකලා වීම මිනිසා පසුපසට ඇද දමයි. 'එක් තීරයක්, එක් මාවතක්' සංකල්පය සහ මානව වර්ගයා වෙනුවෙන් වූ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් පිළිබඳ දැක්ම හරහා, චීනය පොදු සාර්ථකත්වය වෙනුවෙන් ලොව පුරා රටවල් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කර තිබෙනවා. අද චීනය සමඟ සිට ගැනීම යනු අවස්ථාවන් සමඟ සිට ගැනීම බව අප තරයේ විශ්වාස කරනවා.

අප පක්ෂ දෙක අතර ද දිගුකාලීන සබඳතා පවතිනවා. ඒ සබඳතා අප රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වීමටත් පෙර සිටම පැවතුනක් බව කිව යුතුයි. පාලන තන්ත්‍රය පිළිබඳ අපගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ මෙම හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගනිමින් සිටින මේ මොහොතේ, මෙම සබඳතාව අන් කවරදාටත් වඩා වැදගත් වන අතර, දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ඉදිරියේ ඇති අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය සැමවිටම විශ්වාසවන්ත සහ ස්ථාවර හවුල්කරුවෙකු ලෙස පවතිනු ඇත.

චීන ජනතාව සමඟ ඇති අපගේ ගැඹුරු සහ චිරස්ථායී මිත්‍රත්වය නැවත වරක් සිහිපත් කරමින් මගේ කතාව අවසන් කරන්න මා බලාපොරොත්තු වෙනවා. අප රටවල් දෙක අතර සහ අප පක්ෂ දෙක අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වේවායි මා ප්‍රාර්ථනා කරන අතරම, මෙම 105 වැනි සංවත්සර උළලේදී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාට සහ චීන කොමියුනිස්ට් පක්ෂයට මාගේ උණුසුම් සුබපැතුම් නැවත වරක් පිරිනමනවා.

ස්තූතියි!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න