Image

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්‍රෝනික උපාංග මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩිල්ෂාන් එල්මෝ ඇලෝසියස් ද සිල්වා නමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබීය.

අදාළ පුද්ගලයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෝසම කැඳවූ අවස්ථාවේ දී නීතීඥ සංජය මාරඹේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව සිය සේවා දායකයා ගේ නිවස පරීක්ෂාවට ලක්කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් මෙම පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට අයත් laptop සහ ඇපල් වර්ගයේ දුරකතන සිය භාරයට ගෙන තිබෙන බව පවසා සිටියා. එම නිසා අදාළ පුද්ගලයාට බැංකු කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

විමර්ශනවලට අවශ්‍ය කරන සියලු තොරතුරු ලබාදීමට සිය සේවා දායකයාට ගැටලුවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදාළ උපකරණ මුදා හරින ලෙස නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කරන බවත් සඳහන් කළා.

ඒ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න